රසම රස කෑමක් හදමු

Friday, November 4, 2011

ඔන්න අදත් අපි කියල දෙන්න යන්නෙ රසම රස කෑමක්,විශේෂයෙන් පොඩි අය ගොඩක් කැමතිවෙයි කියල හිතෙනව මේ කෑමට.පැණිරසට කැමති වැඩිහිටි අයත් ඉන්නවනේ,ඒ අයත් මේ වගේ කෑමකට කැමති වෙයි.එහෙනම් හදලා බලලා අපිට හොද නරක කියන්නකො.

මෙන්න මෙහෙමයි හදාගන්නේ,මුලින්ම ඕනේ කරන දේවල් ටික කියන්නම්කො.ගෙදර නිතර තියන දේවල් ටිකක් අරන් තමා මේක හදන්නේ...ඒ නිසා එච්චර වදයක් වෙන්නත් ඕනේ නෑ... සරලයි...පහසුයි

පාන් පිටි 200g ක්
මාගරින් 20g ක්
බේකින් පවුඩර් 2g ක්
ලුනු ස්වල්පයක්
පිරිසිදු ගෑරෙප්පුවක්
සීනී 
පොල් තෙල් ස්වල්පයක්

මුලින්ම කරන්න තියෙන්නෙ පාන් පිටිවලට බේකින් පවුඩර් ස්වල්පයක් එකතු කරලා පෙනේරයකින් හලා ගන්න එකයි.එහෙම හලා ගත්ත පිටි ටික භාජනයකට දාල,පස්සෙ අවශ්‍ය ප්‍රමාණයට ලුනු ස්වල්පයක් එකතු කරන්න.

එකතු කරලා...මාගරින් ටික දමාගන හොදට අනාගන්න ඕනේ...ඕනේ නම් වතුර ස්වල්පයක් එකතුකරල අතේ නොඇලෙන තරමට පිටි ගුලියක් හදාගන්න ඕනේ...

මෙහෙම හදාගත්ත පිටිගුලිය පැයක් විතර වහල තියල තියන්න.පැයකින් විතර අර පිටි ගුලිය හොදට  අනලා අරන් පුංචි පුංචි ගුලි හදාගන්න ඕනේ.ඒ කියන්නෙ පොඩි ජිල්බොල සයිස් එකට.

එහෙම හදාගන ගෑරෙප්පුවේ පිට පැත්තෙ අර හදාගත්ත පුංචි පිටිගුලිය තියලා අතින් සමතලා කරල අනිත් පැත්තට රෝල් කරගන්න ඕනේ...එතකොට ඉරි ඉරි ඇදුන ලස්සන පිටි ගුලියක් හැදෙනව ගොලුබෙලි කට්ටක් වගේ...

ඒවා ටික  තාච්චියක් රත් වෙන්න තියල පොල් තෙල් වලින් බැදගන්න ඔනේ රන්වන් පාට වෙනකම්.කාල බැලුවම කුරු කුරු සද්දෙ එන්න ඕනේ...
මේ තියෙන්නෙ ඒ විදියට බැදගත්ත ඒවා.
 
බැදගත්ත පිටි බෝල වලට සෑහෙන ප්‍රමාණයට සීනි අරන් කැරමල් කරලා...බැදගත්ත පිටි බෝල ටික සීනි වල දාල ගන්න.

පස්සෙ ටික වෙලාවක් නිමෙන්න තියන්න.කාල බලන්නකො කොහොමද රහ කියලා...

සීනි වලට අකමැති අයට:-  බැදගත්ත පිටි ගුලි රස්නෙ පිටින් මිරිස් වල දවටලා කන්න ගන්නත් පුලුවන්.

හදලා බලලා රහ කොහොමද කියල අපිටත් කියන්නකො...

12 ප්‍රතිචාර:

  • ආඩම්බරකාරී says:
    November 3, 2011 at 10:02 PM

    ආවු ආවු මං නං කලින්ම හදං කෑව නදී අක්කගෙන් අහගෙන..අර ලස්සන හැඩේට තමා ගන්න බැරි වුනේ.. :(

  • චතුවා says:
    November 3, 2011 at 10:07 PM

    මාත් හදාගෙන කන්නෝනි බලන්න.. :D

  • නදී says:
    November 3, 2011 at 10:11 PM

    ආඩම්බරකාරී- ආ ඔයා හදලා කෑවනේ.මට පින්තූරත් එවල තිබ්බෙ.

  • නදී says:
    November 3, 2011 at 10:12 PM

    චතුවා-ලොකු අම්මට කියන්නකො හදලා දෙයි.

  • මකුළු පැංචි (මංචි) says:
    November 3, 2011 at 11:00 PM

    ආහ්හ්...මේවට අපේ පැත්තෙ කියන්නෙ පැණි බට්ටො කියලනෙ.. :D..මංචි කන්න පෙරේතම කෑමක්.. :D

  • දිල් says:
    November 3, 2011 at 11:14 PM

    මම මේක හදන්නෙ මීට වඩා චුට්ටක් වෙනස් විදියට නදී..ඔය විදියටම පිටි ගුලිය අනලා ඊට පස්සෙ ඒක හොඳට තුනී කරගෙන චූටි චූටි රවුම් කපලා ගන්න ඕනෙ...ඒ එක රවුමක් මැද්දට චීස් චූටි කෑල්ලක්..( අර තුන් මුලසට තියෙන හැපි කව් ඒවා දෙකක් හොඳටම ඇති ) දාලා පැටිස් වල වගේ අලවලා ගන්නවා..ඊට පස්සෙ තෙලෙ ඔය විදියටම බැදලා සීනි උණු කරලා දානවා... කද්දී අර චීස් ටික හැපෙනකොට පට්ට රසයි...

  • Loku John says:
    November 3, 2011 at 11:16 PM

    test කරන්න ඔනි කියුවා හදලා කාලම ආයෙත් කමෙන්ට් කරන්නම්

  • බට්ටි says:
    November 4, 2011 at 7:33 AM

    ෂා..අර හැඩේ දැක්කම දැන් කන්න ආස හිතුනා. හෙට නිවාඩු දවසෙනේ මං හදලා කාලා සදුදට ඇවිත් රස ගැන කියන්නම් කෝ.

  • පන්සල් හංදිය says:
    November 4, 2011 at 8:25 AM

    මේකට කියන නම් මොකක්ද ......

  • ගලයා says:
    November 4, 2011 at 10:52 AM

    ම්ම්ම් කන්ට නං ආසයි...හදාගෙන කන්ට බෑ...මම අම්මට කියලා වත් හදා ගෙන කන්ට ඕන...පැනි රස ටිකකුයි..මිරිස් ටිකකුයි දෙකක්ම....
    කාලා කියන්නම්කෝ...

  • සංකල්ප says:
    November 5, 2011 at 7:46 AM

    මරු කෑමක්නේ නදී අක්කේ. මාත් අම්මට කියලා හදෝගන්න ඕනා.

  • Anonymous says:
    April 20, 2012 at 12:39 PM

    ගෙදර,අවුරුදු කෑම මේසේ එතකොට අම්මවත් මතක් උනා මේ පින්තුරේ දකිද්දී..මම නුවරින්,අපේ පැත්තේ මේකට කියන්නේ "සීනි කෑම" කියල.කිරිබත්,ලුණු මිරිස් ඇරුනම අනිත් හැම කෑමක මත් සීනි තිබ්බත් ඇයිද මන්ද මේකට විතරක් සීනි කෑම කියන්නේ.. :) අවුරුද්දට බොහොමයක් නුවර අය හදන කෑමක්..බොහොම ස්තුතියි හදන හැටි බෙදාගත්තට අපිත් එක්ක.. :)

Post a Comment