Showing posts with label ළමයා. Show all posts
Showing posts with label ළමයා. Show all posts

Thursday, December 13, 2012

අක්ෂර අපේ මෙහෙවර ඉදිරියට ඔබ සමග..

5 ප්‍රතිචාර | Read more...
සෑහෙන කාලෙකට පස්සේ අක්ෂර බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්නේ.. බ්ලොග් එක ලියන එක නතර වුනාට අක්ෂරයේ අපි තාමත් ඉස්සර වගේම හොඳම යාලුවෝ විදියට ඉන්නවා. අන්න ඒක නිසා අපි තීරණය කළා 2012 ජනවාරි මාසෙදී අපි කලා වගේ පිනක් 2013 මුලදිත් කරන්න. ඉතින් ඇත්තම කියනවා නම් මේ පෝස්ට් එක අපේ බ්ලොග් රචකයන්ට/ පාඨකයන්ට දැනුම්දීමක් කරන්න/ ඉල්ලීමක් කරන්න ලියන බ්ලොග් පෝස්ට් එකක්..

අක්ෂර අපි 2012 ජනවාරි මාසේ අට වෙනිදා පුංචි සිත් වලට සතුටක් දෙන්න බොරැල්ල ජයන්ති ළමා නිවාසයට ගියපු ගමන ගැන අපි කලින් කිව්වානේ.. ඒ ගැන නොදන්න අය "අක්ෂර අපේ මෙහෙවර" පෝස්ට් එක කියවලාම බලන්න..



ඉතින් අපි ඒ ආරම්භ කරපු මෙහෙවර 2013 වසරේදිත් (ජනවාරි හෝ පෙබරවාරි) කරන්නයි අපේ මේ සූදානම.. මුලින්ම අපි සැළසුම් කලේ මේ අවුරුද්දේදී කලා වගේ අක්ෂරයේ අපි විතරක් එකතු වෙලා මේ කටයුත්ත කරන්න. ඒත් පස්සේ තීරණය කළා මේ කටයුත්තට සහභාගී වෙන්න කැමති බ්ලොග් රචකයෝ/ පාඨකයෝ ඉන්නවානම් ඒ අයවත් අපිත් එක්ක එකතු කරගන්න.

මුලින්ම අපි උදව්වක් බලාපොරොත්තු වෙනවා.. ඔබ දන්න ළමා නිවාසයක්/ වැඩිහිටි නිවාසයක් හෝ අපෙන් උපකාරයක් අවැසි අපිට උපකාර කළ හැකි වෙනත් ආයතයක් ගැන හෝ උපකාරයක් අවැසි කෙනෙක් ගැන තොරතුරක් දන්නවානම් අපිට දන්වන්න. කොළඹ හෝ අවට ආයතනයක් නම් ඉතින් අපි කාටත් ලේසියි.. එතකොට අපිට පුලුවන් හැමෝගෙම අදහස් විමසලා සුදුසු ස්ථානයක් තෝරගන්න අපේ මේ කටයුත්ත කරන්න.


සුදුසු තැනක් තෝරාගත්තට පස්සේ අපිට පුලුවන් වෙයි අපි ඒ ආයතනයට හෝ අපෙන් උපකාර ලබාගන්න කෙනාට ඒ උපකාර කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න. දිනයක් ස්ථානයකුත් ඒ සමඟම තීරණය කරමු.


ඉතින් මේ අක්ෂර අපි ආරම්භ කළ මෙහෙවර ජනසතු කරමින් ඉදිරියටම කරගෙන යන්න පූර්විකාවක්.. වැඩි විස්තර ඉදිරියේදී..

ප.ලි :- 2013දී කරන්න යන මේ කටයුත්තේදී අක්ෂරයේ අය වගේම ඉන් පිටත අයත් සහභාගී වේවි කියලා බලාපොරොත්තු වෙන නිසා මේ වෙනුවෙන් බ්ලොග් එකක් නිර්මාණය කළා. අපේ මේ මෙහෙවර ගැන සියලු තොරතුරු එකම තැනකින් බලාගන්න "මෙහෙවර.." බ්ලොග් එකට පිවිසෙන්න.

වැඩිවිස්තර හෝ අපිව සම්බන්ධ කරගන්න chaturanga87@gmail වෙත ඊමේල් එකක් දාන්න.

Monday, November 28, 2011

Phishing.. "Its for hack my boyfriend profile."

9 ප්‍රතිචාර | Read more...
කාලෙකට පස්සේ අක්ෂරයට ලිපියක් ලියන්න හිතුනේ අද දවසේ මගෙන් වුනු වරදක් නිසා සහ මට ලැබුණු e-mail එකක් නිසා.


"i saw ur comment on 1 of facebook phishing page. cn u send me the login.php and other necessary files? i hope u will help me.


Thank you.
******.

Its for hack my boyfriend profile. please help me..."

ඔන්න ඔහොමයි ලියුමේ තිබුණේ! ලියුම එවපු කෙනා මේක කියවනවා නම්, මේ ලිපිය ලියාගෙන යනකොට සමහරවිට කලින් කියපු e-mail එක එවපු කෙනාටත් උත්තරයක් ලැබෙයි.


අපේ අයට කොයි තරම් කියලා දුන්නත් ඵලක් නැති දෙයක් තමා ෆේස්බුක් එකේ හරි මොනම හරි සමාජ ජාලයකදී හරි දකින දකින ලින්ක් වල ක්ලික් නොකර ඉන්න කියන එක සහ ඒ ලින්ක් වලින් පිවිසෙන වෙබ් පිටු වලට තමන්ගේ තොරතුරු ඇතුලත් නොකර ඉන්න කියන එක. මොකද.. ඒ වෙබ් පිටු phishing pages වෙන්න පුලුවන්!   

1) මොකක්ද මේ පිෂින් (Phishing) කියන්නේ?

පිෂින් මගින් සිදුවන දේ සරළවම කෙටියෙන්ම කීවොත් මේකෙදී වෙන්නේ ගිණුමකට ඇතුලත් වීමට අවශ්‍ය වෙන තොරතුරු (User Name, Password ආදිය) සොරා ගැනීම. මෙසේ සොරා ගැනීමට පිෂින් වලදී යොදාගන්නා මූලිකම ක්‍රමය වන්නේ අදාල වෙබ් අඩවියේ පෙනුමටම අනුරුවක් හදලා ඒක හරහා තොරතුරු ලබාගැනීමෙන්.


උදාහරණයක් විදියට Facebook ගත්තොත්, Facebook login පිටුව ආකාරයටම සෑදු එ‍හි අනුරුවක් අඩංගු වෙබ් ලිපිනයකට පාරිශිලකයාව යොමු කරන එක. එතකොට ඒ ව්‍යාජ වෙබ්පිටුවට ඇතුලත් කරන User Name, Password ආදිය එම ව්‍යාජ  පිටුව නිර්මාණය කරන ලද කෙනාට ගන්න පුලුවන්. ඒ වගේමයි ඒ පිටුව භාවිතා කරලා Facebook ලොග් වෙන්න උත්සාහ දරණ කෙනාටත් කිසිම වෙනසක් නොදැනීම Facebook වෙත ලොග් වෙන්නත් පුලුවන්! ඉතින් ටික දවසකට පස්සේ.. "මචං මගේ FB account එක හැක් කරලා බං" කියලා තමා කියන්න වෙන්නේ.


මේ තියෙන්නේ පිෂින් පේජ් එකක්. වෙනසකට තියෙන්නේ මේක පාවිච්චි කරන කෙනාව අනික් පිෂින් පේජ් වලට වඩා පොඩ්ඩක් අන්දන්න වෙනවා.. කැමතිනම් ලොග් වෙලා බලන්න මේකෙන්. www.facebooksn.tk

2) පීෂින් පේජ් එකක් හඳුනාගන්නේ කොහොමද?

පිෂින් පේජ් එකක් හඳුනා ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. මේ අතරින් ඉතාමත්ම පහසුම ක්‍රමය තමයි කිසියම් වෙබ් පිටුවක User Name, Password හෝ වෙනත් තොරතුරක් ඇතුලත් කරන්න කලින් තමාට අවශ්‍ය වෙබ් අඩවියේ ලිපිනයම Address bar එක මත සඳහන්ව තියෙනවද බලන එක. 


උදාහරණයක් විදියට අපිට www.facebook.com අඩවියට යන්න ඕනි වුන වෙලාවක වැරදිලා හෝ කිසියම් කෙනෙක් නොමඟ යවලා www.facebook.fakeurl.com වගේ ලිපිනයකින් ව්‍යාජ facebook පිටුවකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන් ඉන්න පිටුවේ ලිපිනය මුල සිට අගටම හරිය‍ටම කියවලා බලන්න.



ව්‍යාජ ෆේස්බුක් ඇතුල් වීමේ පිටුවක්. (පිංතූරය - http://www.allfacebook.com/ අඩවියෙන්)


ව්‍යාජ ට්විටර් ඇතුලත් වීමේ පිටුවක් ( පිංතූරය - http://www.switched.com/ අඩවියෙන්)


පිෂින් පේජ් හඳුනා ගන්න යොදාගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි තමා සිටින පිටුවේ Page source බලන එක. අදාල පිටුවේ source බලල පිෂින් පේජ් එකක් හඳුන ගන්න පුලුවන් වුනත් ඒකට වෙබ් නිර්මාණය ගැන දැනුමක් තියෙන්න වෙනවා. ඒ නිසා ඒක හැමෝටම කරන්න පුලුවන් ක්‍රමයක් නෙවෙයි වගේම ටිකක් අමාරු ක්‍රමයක්.

3) කොහොමද පිෂින් වලින් බේරෙන්නේ?

ලේසිම ක්‍රමය තමා කොයි තරම්ම විශ්වාසවන්ත කෙනෙක් වුනත් දෙන ලිපිනයකින් පිවිසෙන වෙබ් පිටුවකට තමන්ගේ තොරතුරු ඇතුලත් කරන්න කලින් තමන් ඉන්න වෙබ් අඩවියේ ලිපිනට (URL) හොඳින් කියවන එක. තමන් ඉන්නේ නිවැරදිම ලිපිනයේ කියලා සැකහැර දැනගන්න එක.

ඒ වගේමයි තමන්ගේ ගිණුම්වල විවිධ දෝෂ ඇතිවෙලා තියෙනවා වගේ කරුණු ඇතුලත් කරලා විවිධ ලින්ක් සමඟ එවන e-mail වලිනුත් පරිස්සම් වෙන්න. 


ව්‍යාජ තොරතුරු ඇතුලත් e-mail එකක්

මේ ලිපියේදී ප්‍රධානවම සමාජ ජාල ගැන කතා කරාට පිෂින් පේජ් හදන්නේ ඒවා සඳහා විතරක්ම නෙවෙයි. Paypal, Mediafire, Rapidshare වගේ අඩවි වලටත් බහුල ලෙස මේ උවදුර බලපානවා..

දැන් තියෙන්නේ පිෂින් පේජ් එකක් හදන හැටි නෙවේ.. ඒවාගෙන් බේ‍රිලා මේ ලෝකේ වටිනාම වච‍නේ "Password" එක රැක ගන්න එක.! 

ප.ලි :- ඊළඟ පෝස්ට් එකෙන් Phishing page එකක් හදන හැටි කිව්වොත්??


Thursday, May 19, 2011

ඔබට සුබ ගමන් මිත්‍රයා..!

2 ප්‍රතිචාර | Read more...
අපි හැමෝම මහන්සි වුනා.. ගොඩාක්.. එක කොල්ලෙක් වෙනුවෙන්.. අපේ සහෝදරයෙක් වෙනුවෙන්.. ඒ අපේ සිංහල බ්ලොග් අවකාශයේ ඉලංදාරියා වෙනුවෙන්.. හැමෝම එකමුතු වුනා.. දිලුම්ට මේ ලෝකේ අහන්න ලබා දෙන්න උදවු නොවුන කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ ඉන්නවානම්, පුදුමයක්..!! ඒත්.....




ඒත් අද මට නම් දැනෙන්නේ ඒ අපේ සියලු උත්සාහයන් වතුරේ ගහගෙන ගියා වගේ. ඒ ඊයේ රෑ හදිසියේම අහන්න ලැබුණු ආරංචියක් නිසා.. කොච්චර  හිත කිවුවත් ඔය කතාව විශ්වාස කරන්න එපා කියලා.. අන්තිමට මට ඒ කතාව විශ්වාස කරන්නම වුනා. ඉලංදාරියා අපෙන් සමු අරගෙන.. සදහටම..! හැබැයි, මතක තියාගන්න.. ඒ ගතින් විතරයි.. කවදාවත් නොමැකෙන සටහන් රැසක් හදවතේ ඉතුරු කරලා. අපි දුක් වෙනවා. ගොඩාක්. ඒ මතකයන් තියෙනකම් අපි රිදේවි.. කවදාවත්ම අපේ හිතින් නොමැකේවි.. ඉලංදාරියාගේ ලෙංගතුකම, ඉවරයක් නැතිව කියවපු කතා.. හැමදෙයක්ම හැම මතකයක්ම අපේ හිත් වල තියේවි.. 


උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!!




දයාබර සොයුරාණනි... ඔබට නිවන්සුව....!!

Thursday, April 14, 2011

ලග්නයට අනුව ලැබුවා වූ වසර ඔබට.....

23 ප්‍රතිචාර | Read more...
1. මේෂ
          මෙම වසර මේෂ ලග්න හිමි ඔබට සියලු ලෙඩ රෝගයන් වැළදී දුක් පීඩා විදීමට සිදුනොවන, වලි කොකු වලින් බර නොවනු ප්‍රීතිමත් නව වසරක් වේවා.. තවද සිංගල් අය ඩබල් වන, ඩබල් වුනු අය සිංගල් නොවෙන, ලියන ලියන විභාග සීය දාන රැකී රක්ෂා කටයුතු සාර්ථක වන එලකිරි වසරක් වේවා...


2. වෘෂභ
          වෘෂභ ලග්න හිමි ඔබට මේ උදා වන නව වසර ඉතාමත්ම සුභදායක වීමටත් කිරි හා පැණි උතුරා කුඹින්ගෙන් සිදුවන හානි සිදු නොවීමටත් කිරි හා පැණි කෙසේ වෙතත් සාමය හා සතුට උතුරා ගලා යන වසක් ‍වීමටත් මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙමින් පෙම් සිතුම් පහල වී අධ්‍යාපන, රැකී රක්ෂා කටයුතු සාර්ථක වීමටත් මංගල කටයුතු සාර්ථක වන මඤඤං නොවූ වසරක් වේවා..!


3. මිථුන
          මිථුන ලග්න හිමියන්ට සුබ ග්‍රහඵල ලබාදෙන ප්‍රීතමත් ප්‍රබෝධමත් වසරක් මෙන්ම ගෙවී ගියා වූ වසරට වඩා ඉතා සර්ථක ලෙසින් සියලු කටයුතු සාර්ථක වන හිතමිත්‍රාදීන්ගේ උදවු උපකාර සහායොගයන් පැසසුම් අරවා මේවා ඔක්කම ලැ‍බෙන සුබ නව වසරක් වේවා...!


4. කටක
          කටක ලග්න හිමියන්ට මේ වසර මුල් භාගයේ සිට අග භාගය දක්වාම අතේ මිටේ යහමින් මුදල් ගැවසෙන, ඒවා වියදම් කරන්න සිත්දෙන, කරන කියන සියලු කටයුතු සාර්ථක ‍වන ප්‍රීතිමත් මැක්සා නව වසරක් වේවා..!


5. සිංහ
          සිංහ ලග්නය කොටගත් සියලු බ්ලොග්කරුවන්ට මැක්සා පෝස්ට්ස් ලිවීමට හැකි වන, එම පෝස්ට්ස් වලට සට සට ගා කමෙන්ට්ස් වැටෙන කරන කියන සියලු දෑ සාර්ථක වන සිතේ සතුට පිරි හදේ උතුරා ගලා යන ආදරය සමඟ සුබ නව වසරක් වේවා..!


6. කන්‍යා
          කන්‍යා ලග්න හිමි ඔබට මේ වසරේදී මල්පිට මල් සැලෙන දිගු මාවත් වල බියෙන් සැකෙන් තොරව අණතුරු පීඩා වලින් තොර හිතේ පැතුම් ඉටුවන සිරි සුබ නව වසරක් වේවා...!


7. තුලා
          ඉර හඳ පායන ලෝකේ දුක සැප සමබර වී වසර පුරා කිර කිරා ඉන්න නොවෙන ප්‍රීතිමත් සාර්ථක යුග දිවියක්  හා සාමය සතුට පිරි නව වසරක් වේවා...!


8. වෘශ්චික
          වෘශ්චික ලග්නය හිමි ඔබට සොර සතුරු රෝග විපත් වලින් තොර සියලු කටයුතු සාර්ථක වන කෙල්ලන් නොමැති කොල්ලන්ට කෙල්ලන් සෙට් වෙන, කොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වෙන* , ‍ෆෝන් එක දිහා බලද්දී අදාල අයගෙන් කෝල් එකක් SMS එකක් එන ප්‍රීතියෙන් හා සාමයෙන් ගත වන සුබ නව වසරක්වේවා..!


9. ධනු
          ධනු ලග්නය හිමි ඔබට මෙම වසර අත පිරෙන්න සල්ලිත් හිත පිරෙන්න සතුටත් ලැ‍බෙන සියලු කටයුතු ඉතාමත් සාර්ථක වෙන සුබ නව වසරක්වේවා...!


10. මකර
          මකර ලග්න හිමියන්ට මෙම ලබුවා වූ නව වසර ඉතාමත් සුබදායි මෙන්න සියලු කටයුතු සාර්ථක වන්නවා වූ නීරෝගී සුවය ලැබෙන්නා වූද, බෑ බෑ කිය කියා ඉන්න විවාහ කටයුතු ඉක්මන් වන, මනමාලියන් නැති මනමාලයන්ට මනාලියන් හමුවෙන, මානමාලයන් නැති මනමාලියන්ට මනමාලයන් හමු වෙන ප්‍රීතිමත් නව වසරක් වේවා..!!


11. කුම්භ
          කුම්භ ලග්න හිමියන්ට පෙරේත කුම්භාණ්ඩයින් සෙට් නොවන යහපත් යාලුවෝ සෙට්වෙන කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන සිතන පතන යහපත් දේ ලබාගන්න හැකිවෙන සුබ නව වසරක්වේවා..!


12. මීන 
          මීන ලග්නය හිමි සියලුම දෙනාට නොම්බරය වැරදුනු රීලෝඩ් ලැබෙන, මල් කඩද්දී නෙට්වර්ක් බිසී නොවන, කෝල් කරද්දී වේටින් නොවැටෙන සියලු කටයුතු සාර්ථක වෙන සුබම සුබ නව වසරක්වේවා..!




මේ සියලුම දෙනාට කරන කරන ප්‍රාර්ථනාවන් ඉටුවන, අවුරුද්දම සුබම සුබ කරගන්න හැකියාවක් ලැබේවායි අක්ෂර අපි ඉතසිතින් ප්‍රාර්තනා කරන්නෙමු..


(* කොල්ලන් නැති කෙල්ලන් කරුණා කර පහතින් සටහනක් යොදා යන්න. අක්ෂරයේ සියලුම කොල්ලන් Available ය)

Monday, January 31, 2011

අපේ හඬ...

5 ප්‍රතිචාර | Read more...
කාලෙකට කලින් අන්තර්ජාලය කිව්වාම සමහර අයගේ හිතට නැගුනේ ඇතැමි විට පහත් හැඟීමක්. අන්තර්ජාලේ හොඳ දේටත් වඩා නරක දේට යොදාගෙන තිබුණ කාලයක් නිසා ඒ. ලංකාව වැනි රටවල ඒ තත්වය වඩාත් තදින් පැතිරීගෙන ගියත් කාලයාගේ ඇවෑමෙන් වගේම බොහෝ හේතු සාධක නිසා ඒ දේවල් වැලලිලා ගිහින්.. මුලු ලෝකෙම එකම යායක් කරන්න මේ අපූරු නිර්මාණයට හැකි වෙලා. කවමදාකවත් නොදැකපු ‍නොහඳුනන ලෝකේ කෙලවරවල් දෙකක ඉන්න දෙන්නෙක් හොඳම යාලුවෝ බවට පත් කරන්න පුලුවන් තෝතැන්නක් බවට පත්වෙලා අද අන්තර්ජාලය.  ඒ සියලුම දේවල් දෙවෙනිතැනට දාලා පහුගිය සතිය පුරාම අන්තර්ජාලයේ අපේ බල ප්‍රදේශය වන සිංහල බ්ලොග් අවකාශය තුල හැමෝම අතර කතා වුන මාතෘකාවක් තිබුණා. ඒ යාලුකම වෙනුවෙන් සහෝදරත්වය වෙනුවෙන් නැඟුණු හඬක්. ආදරය වෙනුවෙන් ලෙංගතුකම වෙනුවෙන් ගලා ගිය කඳුලක් ගැන..  


සිංහල බ්ලොග් රචකයන්, පාඨකයන් අතර ඉලංදාරියා නමින් දන්න හඳුනන අපේ දිලුම් සහෝදරයා තමා අපේ බ්ලොග්කරුවන්ගේ එකමුතුව පෙන්නන්න සමත් වුන පළමුවෙනියා.. මම දන්න තරමින්. ඒ එකමුතුකම සහෝදරත්වය සහයෝගය වෙන කිසිම දෙයක් වෙනුවෙන් නෙවෙයි.. අපේම එකෙක් වෙනුවෙන්.. දිලුම් වෙනුවෙන්.. බ්ලොග් අවකාශයේ ඉලංදාරියා වෙනුවෙන්.. හැමෝම එකතු වුනා. පුලුවන් විදියකින් දිලුම්ට ශක්තියක් වෙන්න. 

ඉතින් දැන් ඉලංදාරියාට මොකඳ වෙලා තියෙන්නේ?

මේ ප්‍රශ්නය සමහරවිට කාගේ හරි හිතේ ඇති වෙන්න ඉඩක් තියෙනවා. ඒ ගැන අපි කියනවාට වඩා වටිනවා ඉලංදාරියාගේ වචනයෙන්ම දැනගන්න එක.  කෙනෙකුට දුකක් කරදරයක් ඇති වුනාම ඒ කෙනාගෙන්ම ඒක දැනගන්න එකනේ වටින්නේ.. ඒ නිසා ඒ ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවානම් මේ සබැඳියෙන් ගිහින් ඒ ගැන දැනගන්න.



මනුස්සයෙක් වෙලා කෙනෙක් මේ ලෝකෙට ඉපදෙන්නේ ජීවිතය විඳින්න. ඒ ජීවිතය විඳින්නනම් ජීවිත කාලය තුල කරන්න ඕනේ යහපත් දේවල්. හැමදාටම හිතින් සතුටු වෙන්න පුලුවන් දේවල්.. ඒ වගේ සදාකාලිකට අපිට සතුටු වෙන්න පුලුවන් දෙයක් අපේ ඉලංදාරියා වෙනුවෙන් සිදු කරන්නයි අපේ මේ වෑයම. ඒ සතුට අපිට විතරක් නෙවෙයි. ඒ අපි විඳින සතුටට වඩා සිය දහස්ගුණයකින් ඉලංදාරියා සතුටුවේවි.. මේ ලෝකය අහන්න ලැබුණුදාට ආයිමත්.. අම්මාගේ හඬින් "මගේ පුතේ" කියන හඬ අහන්න ලැබුණු දවසක අයිමත්.. ගොඩාක් සතුටු වේවි..

මේ ගෙවෙන්නේ බස් ​බ්ලොග්කරුවන් දිරිමත් කිරීමේ මහා බස් බ්ලොග් සතියේ අවසාන දවස. අද දවස වෙන් ‍වුනේ ඉලංදාරියා වෙනුවෙන්. බොහෝ දෙනෙක් ලියාවි අද ඉලංදාරියා වෙනුවෙන්. ඉලංදාරියා ගැන.. බොහෝ දෙනෙක් කියාවි අපි ඉලංදාරියා වෙනුවෙන් එකතු වෙමු කියලා...

ඔව්... ඉතින් අපි එකතුවෙමු. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ඉලංදාරියාට උදව් කරමු කියලා කියන්නේ නෑ. අපි පුලුවන් උපරිමයෙන් උදව් කරමු. අපේ කොල්ලෙක්ට නැවතත් දකින ලෝකය අහන්නට අවස්ථාව ලබලා දෙමු.

වැඩි විස්තර දැනගන්න - Hands for Dilum


  

Wednesday, January 5, 2011

අම්මා රත්තරං නම් තාත්තා?

22 ප්‍රතිචාර | Read more...
"පුතේ.. ඔයා වැඩියෙන්ම ආදරේ අම්මටද අප්පච්චීටද?"

මේ ප්‍රශ්නේ පොඩිකාලෙදී මගෙන් කොයිතරම් දෙනෙක් අහලා ඇතිද? ඒ කොයිම වෙලාවක ඇහුවත් මම දුන්න එකම පිළිතුර වුනේ "දෙන්නටම" කියන එක... හැබැයි ඔයා අම්මට කොච්චරක් ආදරෙයිද ඇහුවොත් මම පුලුවන් තරම් අත්දෙක දෙපසට විහිදුවලා "මෙච්චරක්..." කියද්දී ඇහුවොත් අප්පච්චීට කොච්චර ආදරේද කියලා... හඳවතට එකඟවම කතා කලොත් අම්මට තියෙන ආදරේ පෙන්නන්න තරම් මම අත්දෙක විහිදුවන්නේ නෑ.. 


"ඇයි ඔයා අප්පච්චිට ආදරේ නැද්ද?"
"ආදරෙයි.."
"‍එහෙනම්?"

"ම්ම්ම්....."

ඒ ප්‍රශ්නෙට මට කවමදාවත් උත්තර තිබුණේ නෑ.. ඇත්තටම කියන්න දේවල් තිබුණත් කිව්වේ නෑ. තමන්ගේ අප්පච්චීට ආදරේ නොකරන ළමයෙක් ඉන්නවානම් බොහෝම අඩුයි.. මමත් එහෙම එකෙක්ද කියලා තාමත් හිතෙන වෙලාවන් නැතිවම නෙවෙයි.. ඒවට ගැන දැන්නම් හිතද්දී...



තාත්තා වුණත් මා බත සරි කරන..
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින..


පීතෘමූලික පවුලක ඇත්තම තත්වය මේක නෙවෙයිද? තාත්තා කෙනෙක් කොතෙකුත් මහන්සි වෙන්නේ තමන්ගේ දරුවන්ට යහමින් කන්න අඳින්න දෙන්න පුලුවන් වෙන්න මුදල් උපයන්න. රැකියාවට යන පියා ඇතැම්විට ගෙදර එන්නේ රෑ බෝ වූ පසුව. ඉතින් දරුවන් සමඟ ගත කරන්න ලැබෙන්නේ බොහෝම අඩු කාලයක්. මේ වගේ දරුවන්ගෙන් පියා ඈත් වෙන විට ඔහුට ලැබෙන ආදරය අම්මාට ලැබෙන ආදරයට වඩා අඩුවෙනවා නෙවෙයිද? අම්මගේ උණුහුමේ වැඩිකාලයක් ගත කරන දරුවෙකුගේ හිතේ අම්මා ගැන වැඩි ආදරයක් ඇතිවෙනවයි කියන එක අරුමයක් නෙවෙයි. මේ හේතුව මම මගේ අප්පච්චිගෙන් ඈත්වෙන්නත් හේතුවක් වුනා. මූලිකම හේතුවක් වුනා. අප්පච්චීට මගෙත් එක්ක ගෙවන්න තිබුණ කාලය බොහොම අඩු වුනා. ඒ කාර්යයබහුලබව මම පොඩිකාලේ වගේම අදටත් එහෙම්මමයි. මාසෙකටම දවස් හතරක් හෝ පහක් නිවාඩු ලැබුණාම දවස තිස්සේම පවුලේ අය එක්ක ඉන්න බව හැබෑව.. ඒත් මට නම් ඒ හොඳටම මදී.


තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙණුනා..
ඒ ඇරපු සත්තම් වලය කන් දෙක මගේ පිරුණා..
එදා මට පෙණුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ..
අද මට පෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ.. 

කරන පුංචි වරදකට වුනත් පියෙකු ගොඩක් සැරපරුෂ වෙන වෙලාවන් තියෙනවා. කොයි තරම් දඬුවම් දුන්නත් ඒ වෙලාවට "මට තාත්තාගෙන් මේ දඬුවම ලැබෙන්නේ මොකටද" කියලා හිතෙන අවස්ථාවන් අඩුයි.. දඬුවමක් විඳිනකොට හිතේ ඇතිවෙන තරහත් එක්ක ඉන්නකොට දරුවව ඒ දඬුවමෙන් නිදහස් කරගන්න නිබඳවම ඉදිරිපත් වෙන අම්මා ගැන වැඩි ආදරයක් හිතෙන්නේ නැද්ද? ‍ඒ වුනාට අද ජීවත් වෙනකොට තමයි හිතෙන්නේ ඒ දඬුවම නිසා නේද මට අද මේ වගේ යහපත්ව ඉන්න පුලුවන් වෙන්නේ කියලා. ඒත් ඒ දේ තේරුම් යද්දී සමහර විට අපි පියාගෙන් ඈත්වෙලා ඉවරයි..! තාත්තා කෙනෙක්ගෙන් වරදට දඬුවමක් නොවිඳින කෙනෙක් ඒ වරද දිගටම කලොත්.. ඒ වරදින් සමාජයට කොයි තරම් හානියක් වේවිද? පොඩිකාලේදී මම කරපු ඇතැම් වැරදි අප්පච්චීගේ දඬුවම් නිසා නැවතුනේ නැතිනම් අද මට මේ බ්ලොග් ලියන්න ඉතුරු වෙලාවත් ඉදීවිදැයි විශ්වාසයක් නෑ..

රජෙකුට වගේ බයයි අ‍පි මූණ බලන් නෑ පොඩිකාලේ..
තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවේ නෑ පොඩි කාලේ..

එක පියෙකු ගුරුවරුන් දහසකට සමයි කියන්නේ බොරුවක් නෙවෙයි.. පොඩි කාලෙදී ජීවිතේ වීරයා වෙන්නේ තමන්ගේ පියාව. තාත්තා කරන කියන දේවල් ගැන දරුවෙක් බලාගෙන ඉන්නේ ආසාවෙන්.. වෙලාවකට පුදුමෙනුත්..! ඒ වුනත් කාලයක් යද්දී.. අදහස් වල ගැටීම් ඇති වෙද්දී තාත්තා කියන්නේ හණමිටි අදහස් තියෙන කෙනෙක් වෙනවා. ඔහු තුලින් දරුවෙක් දැකපු වීරයා නිකම්ම නැති වෙලා යනවා. නමුත් ඒ හණමිටි අදහස් වල ගැබ්වෙලා තියෙන "අත්දැකීම්" බව අපිට තේරුම් යනකොට අපි බොහෝම ප්‍රමාදයි..!




අම්මට තියෙන ආදරෙයි අප්පච්චීට තියෙන ආදරෙයි වෙනස්වෙන්න තියෙන පුංචිම පුංචි හේතු කිහිපයක් විතරයි මේ.. ඒ වගේම හැම පියෙකුටම, දරුවෙකුටම මේක අදාල වෙන්නේ නෑ. කොහොම වුනත් බොරු කියන්න ඕනේ නෑ.. අපේ ගෙදරනම් මේ පියපුතු ගැටුම තියෙනවා. හැබැයි ඒ තරහකට නම් නෙවෙයි.. මම හොඳින්ම දන්නවා මේක මගේ අප්පච්චී නම් කියවන්නේ නෑ. හැබැයි ගොඩක් පියවරු කියවයි. පිටට නෙපෙන්න ආදරයක් ලු තියෙන්නේ තාත්තා කෙනෙක් ලඟ. මම නම් හිතන්නේ ඒක තමා තාත්තා කෙනෙක්ට අම්මට තරම් ඇතැම් විට දරුවන්ට ලං වෙන්න බැරි. ඒ ආදරය අම්මට දෙවෙනි නොවන ආදරයක් බව හැබෑව. ඒත් ඒක දරුවෙක්ට දැනෙන්න කල්යනවා. ගොඩක් තාත්තලා දූවරුන්ට වැඩියෙන් ආදරේලු.. ඒ කොහොම වුනොත් මම තාත්තාකෙනෙක් වුනු දවසට දරුවන්ට තියෙන ආදරේ බිංදුවක්වත් අඩු නැතිව දෙනවා. මොකද උන් මගෙන් ඈත් වෙනවට මම කොහොමත්ම කැමති නෑ..

Friday, December 24, 2010

අක්ෂර අපේ නත්තල් ගහ..

7 ප්‍රතිචාර | Read more...
★
ඔබ

සැම හටම

සාමය හා සතුට

පිරී ඉතිරි යන්නාවූ

ප්‍රීතිමත් හා සුබ නත්තලක් වේවා!

May 

joy and happiness snow on you, 

may the bells jingle for you 

and may Santa be extra good to you! 

Merry Christmas!

මේ අක්ෂර අපේ නත්තල් සුබ පැතුමයි !

Sunday, December 19, 2010

අක්ෂර....

9 ප්‍රතිචාර | Read more...
නිමක් නැති සිතුම් ගලපන අක්ෂරයට සයිබරයේ ඉඩක් ලබාදෙන්න කාලයක ඉදන් අදහස තිබුණත් විවිධ හේතු නිසා ඒ දේට හැකියාව ලැබුණේ නෑ.ඒ වගේම මේ බ්ලොග් අඩවිය තනි කෙනෙකුගේ අඩවියක් ලෙස නොව බ්ලොග්කරුවන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් නිර්මාණය කරන්න නදී අක්කත් මමත් මුල ඉදලාම අදහස් කරගෙන හිටියා. ඉතින් ඒ සඳහා රචකයන් එකතු කරගෙන අවසානයේ 2010 දෙසැම්බර් මස 19 වන දිනයේ පටන් "අක්ෂරය" මේ විදියට අක්ෂරගත වන වගයි....

මෙම බ්ලොග් අඩවියේ රචකයන් විදියට මම(ළමයා), නදී, සුදු හංසි, පොඩි මහත්තයා මේ වෙනකොටත් එකතු වෙලා තියෙනවා.ඒ වගේම තවත් සිංහල බ්ලොග්කරුවන් කිහිපදෙනෙක්ම එකතු කරගන්න අපි අදහස් කරගෙන ඉන්නවා.ඒ අයත් නුදුරේදීම "අක්ෂරය"සමග අත්වැල් බැඳගනීවි කියලා අපි බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.

අක්ෂර සමග එකතු වෙලා ඉන්න,ඒ වගේම එකතු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ විවිධ වූ විශයන් ගැන බ්ලොග් සටහන් ලියන, එම විශයන් ගැන හෙඳ හැකියාවන් වලින් පිරිපුන් පිරිසක්. එම නිසා අක්ෂරය නම් වූ මෙම බ්ලොග් අඩවිය විවිධ වූ ක්ෂේත්‍රයන් හරහා දිවෙන විවිධත්වයකින් යුක්ත වූ බ්ලොග් සටහනක් වන බවනම් නොඅනුමානයි.

ඉතින් දැනුමින් විනෝදයෙන් පරිපූර්ණව අදින් ඇරඹෙන "අක්ෂර" බ්ලොග් සටහනත් සමග ඔබ සියලූම දෙනා ඉදිරියේදීත් රැදිලා ඉදීවි අපි බලාපොරොත්තු වෙනවා.