දෛවයේ පුංචි පුංචි සරදම් වලට අඬලා දොඩලා ජීවිතේ නැති කරගන්න යන අපේ සමහර කෙනෙක්ට මේ දෙය දැනෙයි නම් මේ ලෝකෙ ගොඩක් සුන්දර වේවි.ජීවිතේ කොයි තරම් කළුවර වුණත් ඇය හීන මවනවා දෑසින් නොදකින ලෝකය හිතෙන් දකින්න.යාය පුරා පිපෙන මල්,පොද වැහි ඒ හිත් මොන විදියට දකිනවා ඇත්ද?සුසුම්ලන ඒ හිත තව මොන තරම් දේ මුමුණනවා ඇත්ද?ගීතයෙන් කියන්න පුළුවන් ලස්සනම දේ ඇරුණම තව කී දාහක් දේ ඒ ලස්සන හිතේ හිරවෙලා ඇතිද?අපි දහසක් දෙනා දකිනවටත් වඩා පිරුණූ හැගීමෙන් ඇය ඇගේ හිත අහන්න කියනවා ලෝකයෙ ඇය දකින්න ආසම දේ ගැන හීන මවමින්..කණ්නාඩියක් ඉස්සරහට වෙලා ඇය ඇයවම සිහියට නගා ගන්න උත්සාහ කරනවා ඇති.ජීවිතයෙ කිසිම පැහැයක් නොදුටුව ඇය කළු සුදු ලෝකයකට කොටුවුන ඇයගෙ තනිකම,එලෙසටම තනිවෙන්නට ඉඩ නොදී හිතේ ඇදිලා තිබෙන දේ මෙහෙම කියනව ඇත්තෙ ඒකයි.. :) :)
මෙතනින් අහන්න ඇයව....
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා....
යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා
අහන් ඉන්න ....
සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි
අහන් ඉන්න...
මේ ගීතය ඇහුවම ටික කාලෙකට උඩදි වුණ සිදුවීමක් මතක් වුනා.කොළඹ මම කරපු පාඨමාලාවකට ගමේ ඉදන් යන්න බැරි නිසා මට ටික කාලයක් බෝඩිමක ඉන්න වුනා.ඒ බෝඩිමේ මේ ගීතය කියන මේඛලා අක්කා වගේම අක්කලා 4,5 දෙනෙක් ඉදියා.එයාල ජීවිතේ දුක කියන දේ දන්නවද කියලත් වෙලාවකට මට හිතුනා.ඔවුන් හැමදෙනාම වගේ උසස් අධ්‍යාපනය ලබලා උපාධියත් හමාර කරලා හොද රැකියා කරනවා.දෙන්නෙක්ට පෙම්වතුනුත් ඉදියා ;) එයාලත් හොද රැකියා කරන අය.හවසට එයාල වැඩ ඇරිලා එනකොට මුළු බෝඩිමම දන්නව එයාල එන බව ඒ තරම් හිනා හඬ :D :D හිතේ මොන තරම් දේ තිබුනත් ඔවුන් නිතරම හිනා වෙලා හිටියා.බෝඩිමේ ගෙවුන කාලෙදි හැමදාම ඔවුන් දකින්න මම ආස කලා මොකද ඇස් පේන කෙනෙක් වත් මූණ බලලා හිනා නොවෙන මේ කාලේ ඒ සහෝදරියෝ දකින හැම වෙලාවෙම මම ඉන්න දිහාවට හැරිලා ලස්සන හිනාවකින් සංග්‍රහ කරලා.පුළුවන් වෙලාවට කතා කලා.. :)
දවසක් ඔවුන්ගේ ජීවිත හිතෙන් අදුරු නැතිබව දැනෙන දෙයක් සිද්ද වුනා.එදා රෑ කරන්ට් එක ගියා එක පාරටම.ඉතින් හැමෝම ඉටිපන්දම් එහෙම පත්තු කරන්න ගත්තා ඒ අතරෙ මගේ කාමරේ ඉදපු යාළුවෙක් දුවල ගිහින් අර අක්කලගෙන් අහල ලයිට් නෑ ඔයාලට තියෙනවද කියලා.එකම බෝඩිමේ වුණාට අපි ඉදියෙ එකම වත්තෙ ගෙවල් දෙකක.ඒක අහලා ආවට පස්සෙ එයාට මතක් වෙලා ලයිට් නැතිවුනත් එයාලට ප්‍රශ්නයක් නෑ නේද කියලා.ලේසියෙන් කිසිදේකට දුක් නොවෙන මගේ යාළුව එදා ගොඩක් දුක් වුනා.පස්සෙ කියලා කියලා හිත හදලා ඒ අක්කලා ඉන්න කාමරේට අපි දෙන්නම ආයෙත් ගියා.ඒ යන කොට මෙන්න මෙයාල ඉටිපන්දමකුත් පත්තු කරන් හිකි හිකි ගගා හෙන කතාවක්.අපි ආපු බව දැනගෙන එක්කෙනෙක් හිනා වෙවී මගේ යාළුවට කියනව “නංගී,ලයිට් නම් නෑ,වැඩිපුර ඉටිපන්දම් නම් තියෙනව‘‘ ලු..හොද වෙලාවට අපි දෙන්නගෙ මූණු දෙක ඒ වෙලාවෙ ඒ අක්කලට බලා ගන්න බැරි වුනා..වෙනද එහෙම දෙයක් කියලා නෝන්ඩි වෙන එක ඉවසන්න බැරිව හොදවයින් 2,3ක් කියන මගේ යාළුවගෙ ඇස් දෙකේ මම එදා දැක්කෙ මහා අසරණකමක්.. :(
එක අඩුපාඩුවක් ඇරුනම ඔවුන් ඉන්නෙ අපට වඩා අඩි කීයක් ඉදිරියෙන්ද?නේද යාළුවනේ..? :) :)
මේඛලා අක්කා ගැන කතාව මෙතන තියෙනවා ඒකත් බලන්න..

