Showing posts with label ආඩම්බරකාරි. Show all posts
Showing posts with label ආඩම්බරකාරි. Show all posts

Friday, December 23, 2011

කාටද ඕනි පුඩින්?ඕනි නම් මෙහෙට එන්න..

15 ප්‍රතිචාර | Read more...
       
   ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ අදත් ආඩම්බරකාරි ආව චූටි කෑමකුත් උස්සගෙන.කෑමක් කියුවට,කෑමක් හදන හැටි හොදේ....මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ නත්තල් කාලෙ නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි.ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්,සිංහලෙන් පාන් පුඩිම..හිහී..

එහෙනම් වැඩි කතා ඕන නෑ මෙන්න මෙහෙමයි හදන්නේ..,


අවශ්‍යය ද්‍රව්‍ය


කිරි - මිලි ලීටර් 100
බිත්තර - 2
සීනි - ග්‍රෑම් 125
පාන් පෙති - 4
වියලි මිදි-ග්‍රෑම් 10
සාදික්කා-කුඩු චුට්ටක්(කැමති නම්,තියෙනව නම් විතරක්)


මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න,එකට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා,ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න.
ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.


ඔන්න දැන් අපි හදලා ඉවරයි.විනාඩි 10ක්වත් ගියේ නෑ නේද?දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150C උෂ්නත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්න.ඒක බේක් වෙනකන් උයනකොට කුස්සිය අනිත් පැත්ත පෙරලන අය ඉන්නව නම් කුස්සිය අස් කරන්න.විනාඩි 25න් විතර බේක් වෙලාද බලන්න ටූත් පික් එකක් අරන් පුඩිම මැදට ගහලා අරන් බලන්න කස්ටඩ් එක ටූත් පික් එකේ ඇලෙනවද කියල එහෙම ඇලෙන ගතියක් නැත්නම් අපේ බ්‍රෙඩ් පුඩින් එක රෙඩි.


(මෙන්න තියෙනවා හදලා ඉවර උනාම.මේකට වේලපු මිදි දාල තියෙනවා,උඩින් තියෙන පින්තූරෙ එකට නම් දාලා නෑ.මේ පින්තූර දෙකම ගත්තේ අන්තර්ජාලයෙන්.මම හදපු එකක පින්තූරයක් මගේ ළග නෑ.. )


දැන් තියෙන්නෙ එළියට අරන් නිවෙන්න තියල කන්න තමා.මේක නිකන් කන්නත් පුළුවනි.ගොඩක් වෙලාවට හෝටල් වල එහෙම නම් දෙන්නෙ නිකන්.මම නම් හැදුවොත් කන්නෙ මගේ ප්‍රියතම කෑම එක්ක.අයිස් ක්‍රීම් එක්ක.එතකොට රසයි.පැණි එක්කත් රසයි.හදලා බලන්නකෝ ලේසියි වගේම සාක්කුවටත් බරක් නෑ...


එහෙනම් යාළුවනේ..ඔයාලටත් අක්ෂරේ මගේ සහෝදර,සහෝදරියන්ටත් සුබම සුබ නත්තලක් වගේම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා..!අළුත් අවුරුද්දෙ හැමෝටම අළුත් කෑමකුත් අරගෙන මම එන්නම්කෝ..හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා..! :)

Sunday, October 23, 2011

ඒ හිත් මොනතරම් දේ මුමුණනවා ඇත්ද..?

11 ප්‍රතිචාර | Read more...


දෛවයේ පුංචි පුංචි සරදම් වලට අඬලා දොඩලා ජීවිතේ නැති කරගන්න යන අපේ සමහර කෙනෙක්ට මේ දෙය දැනෙයි නම් මේ ලෝකෙ ගොඩක් සුන්දර වේවි.ජීවිතේ කොයි තරම් කළුවර වුණත් ඇය හීන මවනවා දෑසින් නොදකින ලෝකය හිතෙන් දකින්න.යාය පුරා පිපෙන මල්,පොද වැහි ඒ හිත් මොන විදියට දකිනවා ඇත්ද?සුසුම්ලන ඒ හිත තව මොන තරම් දේ මුමුණනවා ඇත්ද?ගීතයෙන් කියන්න පුළුවන් ලස්සනම දේ ඇරුණම තව කී දාහක් දේ ඒ ලස්සන හිතේ හිරවෙලා ඇතිද?අපි දහසක් දෙනා දකිනවටත් වඩා පිරුණූ හැගීමෙන් ඇය ඇගේ හිත අහන්න කියනවා ලෝකයෙ ඇය දකින්න ආසම දේ ගැන හීන මවමින්..කණ්නාඩියක් ඉස්සරහට වෙලා ඇය ඇයවම සිහියට නගා ගන්න උත්සාහ කරනවා ඇති.ජීවිතයෙ කිසිම පැහැයක් නොදුටුව ඇය කළු සුදු ලෝකයකට කොටුවුන ඇයගෙ තනිකම,එලෙසටම තනිවෙන්නට ඉඩ නොදී හිතේ ඇදිලා තිබෙන දේ මෙහෙම කියනව ඇත්තෙ ඒකයි.. :) :)


මෙතනින් අහන්න ඇයව....






අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා....

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

අහන් ඉන්න ....

සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි

අහන් ඉන්න...




මේ ගීතය ඇහුවම ටික කාලෙකට උඩදි වුණ සිදුවීමක් මතක් වුනා.කොළඹ මම කරපු පාඨමාලාවකට ගමේ ඉදන් යන්න බැරි නිසා මට ටික කාලයක් බෝඩිමක  ඉන්න වුනා.ඒ බෝඩිමේ මේ ගීතය කියන මේඛලා අක්කා වගේම අක්කලා 4,5 දෙනෙක් ඉදියා.එයාල ජීවිතේ දුක කියන දේ දන්නවද කියලත් වෙලාවකට මට හිතුනා.ඔවුන් හැමදෙනාම වගේ උසස් අධ්‍යාපනය ලබලා උපාධියත් හමාර කරලා හොද රැකියා කරනවා.දෙන්නෙක්ට පෙම්වතුනුත් ඉදියා ;) එයාලත් හොද රැකියා කරන අය.හවසට එයාල වැඩ ඇරිලා එනකොට මුළු බෝඩිමම දන්නව එයාල එන බව ඒ තරම් හිනා හඬ :D :D හිතේ මොන තරම් දේ තිබුනත් ඔවුන් නිතරම හිනා වෙලා හිටියා.බෝඩිමේ ගෙවුන කාලෙදි හැමදාම ඔවුන් දකින්න මම ආස කලා මොකද ඇස් පේන කෙනෙක් වත් මූණ බලලා හිනා නොවෙන මේ කාලේ ඒ සහෝදරියෝ දකින හැම වෙලාවෙම මම ඉන්න දිහාවට හැරිලා ලස්සන හිනාවකින් සංග්‍රහ කරලා.පුළුවන් වෙලාවට කතා කලා.. :)


දවසක් ඔවුන්ගේ ජීවිත හිතෙන් අදුරු නැතිබව දැනෙන දෙයක් සිද්ද වුනා.එදා රෑ කරන්ට් එක ගියා එක පාරටම.ඉතින් හැමෝම ඉටිපන්දම් එහෙම පත්තු කරන්න ගත්තා ඒ අතරෙ මගේ කාමරේ ඉදපු යාළුවෙක් දුවල ගිහින් අර අක්කලගෙන් අහල ලයිට් නෑ ඔයාලට තියෙනවද කියලා.එකම බෝඩිමේ වුණාට අපි ඉදියෙ එකම වත්තෙ ගෙවල් දෙකක.ඒක අහලා ආවට පස්සෙ එයාට මතක් වෙලා ලයිට් නැතිවුනත් එයාලට ප්‍රශ්නයක් නෑ නේද කියලා.ලේසියෙන් කිසිදේකට දුක් නොවෙන මගේ යාළුව එදා ගොඩක් දුක් වුනා.පස්සෙ කියලා කියලා හිත හදලා ඒ අක්කලා ඉන්න කාමරේට අපි දෙන්නම ආයෙත් ගියා.ඒ යන කොට මෙන්න මෙයාල ඉටිපන්දමකුත් පත්තු කරන් හිකි හිකි ගගා හෙන කතාවක්.අපි ආපු බව දැනගෙන එක්කෙනෙක් හිනා වෙවී මගේ යාළුවට කියනව “නංගී,ලයිට් නම් නෑ,වැඩිපුර ඉටිපන්දම් නම් තියෙනව‘‘ ලු..හොද වෙලාවට අපි දෙන්නගෙ මූණු දෙක ඒ වෙලාවෙ ඒ අක්කලට බලා ගන්න බැරි වුනා..වෙනද එහෙම දෙයක් කියලා නෝන්ඩි වෙන එක ඉවසන්න බැරිව හොදවයින් 2,3ක් කියන මගේ යාළුවගෙ ඇස් දෙකේ මම එදා දැක්කෙ මහා අසරණකමක්.. :(


එක අඩුපාඩුවක් ඇරුනම ඔවුන් ඉන්නෙ අපට වඩා අඩි කීයක් ඉදිරියෙන්ද?නේද යාළුවනේ..? :) :)


මේඛලා අක්කා ගැන කතාව මෙතන තියෙනවා ඒකත් බලන්න..

Monday, August 1, 2011

කස්ටියම එන්න,මෙහෙන් වටලප්පන් කන්න..

21 ප්‍රතිචාර | Read more...
හොදයි යාලුවනේ.. ඔන්න අදත් ආඩම්බරකාරිගේ ඉවුම්පිහුම් පාඩමත් අරගෙන මම ආවා රසවත් අතුරු පසක් අරගෙන.. මොනාද දන්නවද.. රසම රස වටලප්පන් එකක්..!! ඉක්මනට ලේසියෙන් හදන්න පුළුවන් වුනාට මේක ඉතින් යහතින් ඉන්න අපි ඔයාල වගේ කට්ටියට නම් කන්න පුළුවනි,සීනි එහෙම තියෙන වැඩිහිටි අයට නම් හරි යන්නේ නෑ.ඒකත් කියලම පටන් ගන්නෝනි නැත්නම් පස්සෙ කස්ටිය මට බනීවි.. :D :D 


එහෙනම් මෙන්න අපේ වටලප්පන් එක හදන්න ඕනි කරන බඩු ටික..,
  • හකුරු - 250g(කිතුල් හකුරු තියේ නම් වඩා හොදයි,ඒත් ඉතිං අපිට කොයින්ද පූසෝ මාළු..මම ගත්තේ කඩේ තියෙන 3/4සීනි 1/4කිතුල්හකුරු.ඒකත් නරකම නෑ :D)
  • බිත්තර - 06
  • කිරි(පොල්කිරි/එළකිරි) - 250ml (පොල් කිරි ගන්නවා නම් මිටි කිරි ගන්න)
  • සාදික්කා - තේ හැදි 1/4
  • එනසාල් - කරල් 2,3
  • කුරුදු - පොඩි කෑල්ලක්(කුරුදු රසට කැමති නම් විතරක්)
  • සීනි - මේස හැදි 3

අවශ්‍යය නම්,ගෙදර තියෙනව නම් විතරක්..,
  • කජු-50g
  • සුල්තානා-50g
(මේ දෙක මම නම් දැම්මෙ නෑ ගෙදර තියෙනව නම් දාන්න.ඒව නොදැම්මත් අපේ වටලප්පන් එක රසයි :) )

හරේ මේං හදන විදිය,


මුලින්ම හකුරු ටික චූටියට කපා ගන්න.ඊටපස්සෙ ඒ ටික පෑන් එකකට 
දාල වතුර ටිකකුත්(මේස හැදි 4ක්)දාල උණු කරගන්න.දැන් ඒක රත් වෙද්දී එනසල් ටික තලලා,ඒකයි සාදික්කා ටිකයි එකතුකර ගන්න හකුරු මිශ්‍රනයට..කුරුදු කෑල්ලත් දාන්න.දැන් හකුරු එක හොදට උණු වුනයින් පස්සේ එකට කිරි ටික දාලා මිශ්‍ර කරගෙන ලිප නිවල හකුරු හා කිරි මිශ්‍රනය නිවෙන්න අරින්න හොදට.ඒ අතරෙ බිත්තර ටික වෙනම භාජනේකට කඩල දාල විස්ක් එකකින් හොදට බීට් කරගන්න.(බිත්තර බීට් කරන තරම අනුව තමා වටලප්පන් එක කැපුවම ඇතුලෙ ලස්සනට බුබුළු බුබුළු හිටින්නෙ)දැන් අර හොදට නිවා ගත්ත හකුරුයි කිරියි මිශ්‍රනයට,බීට් කරගත්තු බිත්තරත් දාලා හොදට දෙකම කවලම් කරගන්න(හකුරු මිශ්‍රනේ උණුවෙන් තියෙද්දී බිත්තර දාන්න එපා බිත්තර ටික හකුරුවල රස්නෙට තැම්බෙනවා)

දැන් සීනි ටික වෙනම පෑන් එකකට දාල කැරමල් කරගන්න.කැරමල් එක හරියට තියෙන්න ඕනි.ඒක කරන්නෙ මෙහෙමයි.පෑන් එක රත් කරල සීනි ටික ඒකට දාන්න.දැන් වතුර තේ හැන්දක් විතර ඒ සීනි උඩින් ඉහින්න ලිපේ ගින්දර අඩුකරලා සීනි ටික හිමීට උණුවෙනකන් ඉන්න.කවදාවත් සීනි කැරමල් කරනකොට හැදි පාවිච්චි කරන්න එපා.සීනි කැටි ඉතිරි වෙනවා.දැන් කරමල් එක රන්වන් පාටට එනකොට ලිපෙන් බාගන්න.කැරමල් එක කර කරගන්න නම් එපා ළමයිනේ..වටලප්පම තිත්ත රසට කන්න වෙන්නෙ.දැන් අපේ වටලප්පන් එක බේක් කරන්නයි තියෙන්නෙ ඉතින් එකට අවශ්‍යය ප්‍රමාණයේ තැටියක් අරන් අපේ අර සීනි කැරමල් කරපු ටික තැටියෙ තැනින් තැනට වක්කරගන්න(මේ සීනි කැරමල් එක යොදාගන්නෙ වටලප්පන් එක තැටියෙන් ඉවත් කරගන්න ලේසි වෙන්න)දැන් අපේ වටලප්පන් මිශ්‍රනය පෙනේරයකින් පෙරලා තැටියට එකතු කරගන්න.දැන් අර කජු,සුල්තානා එහෙම දානවනම් එකත් එකතු කරගෙන ඊළගට තෙල් කඩදාසියකින් තැටිය හොදට වහලා නූලකින් ගැටගහන්න.
හරි දැන් අපේ වටලප්පන් මිශ්‍රනය අවන් එකට දාන්නයි තියෙන්නෙ.අවන් එකේ සෙන්ටිග්‍රේට්ස් 180ක පැයක් විතර මේක බේක් වෙන්න දාන්න.දැන් දුවලා ගිහින් කුස්සිය ලස්සනට අස්පස් කරන්න.නැත්නම් වනජීවී එකෙන් පනීවි.හරි දැන් කුස්සිය අස්කරලා මූන කට හෝදන් එන්න.දැන් පැය හරි ඇති.ඊළගට අපේ සුවද හමන වටලප්පන් එක අවන් එකෙන් අරගෙන එක ටිකක් නිවෙන්න ඇරලා අන් මෝල්ඩ් කරන්න.ඊටපස්සෙ ශීතකරණයෙ ටිකක් තියලා ඉවරවෙලා අවශ්‍යය වෙලාවට කැමති තරමට කපලා පිළිගන්වන්න.

මෙන්න මේ වගේ....,


අවවාදයයි:- හකුරු වැනිදෑ මිලදී ගැනීමට ටවුන් එකේ සුපිරි වෙළද සැල් වලට යාමට පෙර දෙවරක් සිතා බලා ගමේ හන්දියේ කඩේට දුවන්න..හිකි හිකි හිකි  :P :P 

බායි බායි..හදලා බලලා රසද කියලා කියන්න..

Wednesday, July 20, 2011

ගෙදරදිම වෙජිටබල් චොප්සි හදමුද....????

39 ප්‍රතිචාර | Read more...
      හරි යාළුවනෙ ඔන්න අද මම කියල දෙන්න හදන්නෙ මොකක්ද කියල ඔයාල දන්නවනෙ.චොප්සි කියන්නෙ ඉතිං ලොකු කුඩා කාටත් කන්න පුළුවන් කවුරුත් කැමති කෑමක්නෙ.
         ඉතින් මේක හදන්න කියල දෙන්න ඉස්සෙල්ල චොප්සි ගැන පොඩි හැදින්වීමක් කරලම පටන් ගන්නම්.චොප්සි කියන්නෙ අපි ලංකාවෙ එක එක විදියවල් වලට හදන් කෑවට චීන කෑමක්.චීන කෑමක් කිව්වට චීනෙත් තියෙනවනෙ එක එක ප්‍රාන්ත.චීනෙ කෑමත් ඒඒ ප්‍රාන්තයෙන් වෙනස්.ඉතින් එහෙම ප්‍රධාන ප්‍රාන්ත හතරක් තියෙනව බීජිං,ශැංහයි,සෙෂුවාන්,කැන්ටන් කියල.ඒ හතරෙන් මෙන්න මේ කැන්ටන් කියන පලාතෙන් තමා චොප්සි එන්නෙ.ඉතින් ඒ ඒ පලාත් වල කෑම බීම ගැනත් වෙන වෙනම විස්තර තියෙනව දැනට අපි මේ හදන එක ගැන විතරක් දැන ගත්තම ඇතිනෙ නේද?

හරි මෙන්න එහෙනම් අපේ චොප්සි එක හදන්න ඕනි කරන දේවල්,
කැරට්,බෝංචි,ගෝවා මල්,බ්‍රොකලි - ග්‍රෑම් 20 බැගින්
ගෝවා,චීන ගෝවා - ග්‍රෑම් 40
ලූණු කොළ,මුං බීජ(අර චුට්ටක් පැළ වුන ඒවා) - ග්‍රෑම් 20
බට්න් මෂ්රූම්ස්,යංග් කෝන් - 03 බැගින්(දෙකම සුපර් මාර්කට්වල තියෙනව)
බෙල් පෙපර්(රතු,කොළ,කහ) - ග්‍රෑම් 10 බැගින්
චොප් කරපු සුදු ළූනු - මේස හැදි 02
සීනි,ලුණු,අජිනමොටෝ - රස අනුව
කුකින් වයින් හෝ විනාකිරි - මේස හැදි 02
චිකන් ස්ටොක් - කෝප්ප 01 1/2(නෝ චිකන් කියුබ් එකක් දිය කරල ගන්න)
කෝන් පිටි - මේස හැදි 02
සිසමි ඔයිල්(තල තෙල්) - බින්දු 02,03(නැතත් කමක් නෑ)
ඔයිසටර් සෝස් - මේසහැදි 04
කෝන් ඔයිල් - මේස හැදි 04/05

මෙන්න මෙහෙමයි හදන්නෙ,
මුලින්ම එලවලු ටික ලස්සනට කැමති විදියට කපා ගන්න.මේ පහත පින්තූරෙ විදියට


ඊටපස්සෙ වතුර උතුරවල ඒකට ලුණු ටිකක් දාල එළවලු ටික ඒකට දාල තම්බන්න විනාඩි 04ක් 05ක් විතර.(ලූණු කොළ,මුං බීජ ඇර)ඊට පස්සෙ ඒ එළවළු ටික අයිස් වතුර එකකට දාල තියන්න(ඒකට කියන්නෙ refresh කරනව කියල.ඒකෙන් වෙන්නෙ එළවලු ඕනිවට වඩා තැම්බෙන එක වලක්වන එක.අනික මෙහෙම කලාම එළවලුවල පාටත් ලස්සනට එනව)
ඊටපස්සෙ සාස්පානක් ලිපේ තියල කෝන් ඔයිල් ටික දාල රත්වෙන්න තියල සුදුලූණු ටික ඒකට දාල මදගින්නෙ බැදගන්න.දැන් ඒකට එළවලු ටික දාල ඒකත් ටිකක් රත් කරගන්න.විනාඩි 02ක් 03ක් විතර(හැබැයි ලූණුකොළයි,මුං බීජයි දාන්න එපා)

දැන් මේකට ඔයිස්ටර් සෝස් ටිකයි,චිකන් ස්ටොක් එකයි,කුකින් වයින්/විනාකිරි ටිකයි දාලා මදගින්නෙ පිසගන්න ඒ අතරෙ සීනි(චුට්ටිත්තක් පැනිරස එන්න දාන්න එපා),ලුණු සහ අජිනමොටෝ රස අනුව දාගන්න(අජිනමොටෝ කැමතිනම් විතරක් දාගන්න.නමුත් චයිනීස් නම් අජිනමොටෝ කොහෙන් හරි ගෑවිලා තියෙනව).මෙන්න මෙහෙම එයි එතකොට,

දැන් මේක උතුරගෙන එනකොට කෝන් පිටි ටික ඇල් වතුරෙ දියකරලා ඒකත් එකතු කරන්න(වතුර මේස හැදි 4ක විතර දිය කරන්න,මතක් කරල ඇල් වතුරෙ දියකරන්න.උණුවතුරෙ කෝන් පිටි දිය කලාම කැටි ගැහෙනව)හරි දැන් අන්තිමටම ලූණු කොලයි මුං බීජ ටිකයි දාල චොප්සිය ලිපෙන් බාගන්න(මේ දෙකත් චොප්සියට දාන්නම ඕනි නම් නෑ හොදේ)අන්තිමටම තලතෙල් බින්දු 02ක් 03කුත් එකතු කරන්න.ඔන්න ඔච්චරයි ලේසියි පහසුයි.

මේං තියෙනවා හැදුවට පස්සේ..,


ඔන්න ඔයාලත් හදල බලන්නකො.අහ් තව දෙයක් කියන්න ඕනි.මේ චොප්සි හදන හැටි ලියන්න කියල කියුවෙ අපේ නදී අක්ක.ඒ වගෙ ඔයාලත් ආස කෑමක් තියෙනව නම් පහලින් කමෙන්ටුවක් දාල යන්න.දන්න දෙයක් නම් මම හදන හැටි ඊලග ලිපි වලින් දාන්නම්.හැබැයි දන්නවනම් විතරයි හොදේ.ඒහෙනම් ඔන්න හදල බලල මටත් කියන්නකො කොහොමද කියල..

Thursday, July 14, 2011

හොට් හොට් ඩෙසර්ට් එකක්..!!

25 ප්‍රතිචාර | Read more...
     
   ගොඩක් වෙලාවට කෑම කාල අපි කන්නෙ කූල් ඩෙසර්ට්නේ.වෙනසකටත් එක්ක මේං පොඩි පහේ හොට් ඩෙසර්ට් එකක්.නම තමා බනානා ෆ්‍රිටර්ස්.ගොඩක් ලේසියෙන් ඉක්මනට හදාගන්නත් පුළුවන්.ගෙදර නිතරම තියෙන බඩුවලින් හදන නිසා කඩේ දුවන්න ඕනිත් නෑ.(චූට්ටිත්තක් විතර ඕන වේවි)


මෙන්න මේවා තමා ඕනි වෙන්නෙ.(මේ එක පුද්ගලයෙක්ට අවශ්‍ය ප්‍රමාණ)


ඉදුනු කෙසෙල් ගෙඩි - 04 ආනමාලු හෝ ඇඹුල්(ඒ දෙකෙන් තමා මම හදලා තියෙන්නෙ)
කිරි - මි.ලි.100
පිටි - ග්‍රෑ.135
බිත්තර කහමද- 01
බිත්තර සුදුමද - 01
ලුණු - ග්‍රෑ.03
අයිසින් සීනි - ග්‍රෑ.25
තෙල්- ගැඹුරු තෙලේ බැද ගැනීමට අවශ්‍ය තරමට
වැනිලා එසෙන්ස්
බ්‍රැන්ඩි හෝ රම් (තියෙනව නම් විතරක්,ඕවා ඉතින් ගෙවල්වලට ගේන සුනංගුව විතරනේ)


හරි මෙහෙමයි මේක හදන්නෙ.මුලින්ම පිටි,ලුණු භාජනේකට දාල මික්ස් කරන්න ඊට පස්සෙ ඒකට කිරි ටිකෙන් ටික එකතු කරන්න.දැන් ඒ මිශ්‍රනයට වැනිලා එසෙන්ස් බින්දු දෙක තුනක් එකතු කර ගන්න.ඊට පස්සෙ අයිසින් සීනි,බිත්තර කහමදය එකතු කරලා විස්ක් එකකින් හොදට විස්ක් කරගන්න.ඊ ට පස්සෙ ඉවරවෙලා ඒ මිශ්‍රනයට බිත්තර සුදුමදය දාන්න.(බිත්තර සුදු මදය මෙහෙම පස්සෙ දාන්නෙ බැටර් එක බයින්ඩ් වෙන්න.ඕනි නම් බිත්තරේම එක පාරට දාන්නත් පුළුවනි.)ඒක හොදින් මිශ්‍ර කරන ගමන් බ්‍රැන්ඩි හෝ රම් චුට්ටිත්තක් දාන්න.ඒ කිව්වෙ මේස හැදි භාගයක් විතර.(බ්‍රැන්ඩි හෝ රම් දාන්නේ බැටර් එකේ ක්‍රිස්පිනස් එකට)හරි දැන් බැටර් එක හදලා ඉවරයි.දැන් මේ බැටර් එක(මිශ්‍රනය) ශීතකරනයේ විනාඩි 15 - 20 තියන්න.මේ බැටර් එක දියාරු ගතියට තියෙන්න ඕනි.


මේ තියෙන්නෙ බැටර් එක හැදුවට පස්සෙ..




දැන් කෙසෙල් ගෙඩි ටික අරගෙන පොතු අයින් කරලා ඕනි නම් දෙකට කපා ගන්න පුළුවනි.ඇඹුල් කෙසෙල් නම් කපන්න ඕනිත් නෑ.ඊට පසසෙ බැටර් එක අරන් කෙසෙල් ගෙඩි ටික ඒකට දාන්න.ඒ අතරෙ තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් කර ගන්න.පස්සෙ අර බැටර් එක හොදට දවට ගත්ත කෙසෙල් ටික තෙලට දාල රන්වන් පාටට එනකන් බැදගන්න.


මේක අමුත්තෙක්ට සංග්‍රහ කරනවා නම් මීපැණි,ස්ට්‍රෝබෙරි සෝස්,චොකලට් සෝස්,වැනිලා සෝස් එක්ක සංග්‍රහ කරන්න.
මෙන්න තියෙනවා හැදුවාම...




(කෙසෙල් වගේ පලතුරු කන්න අකමැති පොඩිත්තෙක් ඉන්නව නම් මෙහෙම හදලා දෙන්නකො.කාවි පැනලා හිහී..)

Tuesday, February 22, 2011

සොයන ජීවිතය..

13 ප්‍රතිචාර | Read more...

අකුරක් නොමැති,
වදනක් නොමැති,
හැගුමන් නොමැති,
මගහැරුණ ඇමතුමකින්..
සොයනෙමි මම්
මගේ ජීවිතය..

පුංචි දේකට මෙච්චර ලොකු දෙවල් කරන්න පුළුවනි කියලා හිතන්නවත් බැරි තැනක ඉදපු කෙනෙක්ට missed call එකක් ඒක කියලා දුන්න හැටි..! ඒ නිසා දවස ගතවෙන හැටි..! ජීවිතේ වෙනස් වෙන්න යන හැටි..!මේ වෙනකන් දැනගෙන ඉදියේ දෙන්නයි ඒත් වේදනාව තදට දැනෙන කොට කෑ ගහලා කියන්න හිතුනා..

Saturday, February 12, 2011

ඇරඹුමට පෙර අවසානයේදී....,නුඹට

21 ප්‍රතිචාර | Read more...

දන්නවද....?
අද ඉදන් මම ඔයාගෙ ආදරේ ළග
හිගන්නියක් වෙන්නෙ නෑ..
ඒත් දවසක ඔයාට තේරේවි මාව,
අද ඔයාට මාව නැති වෙයි..
ඒ වගේම මගේ ජීවිතේම සතුට
මටත් නැති වෙයි..
දවසක් ඒවි කවදාහරි
ඔයාට මාව මතක්වෙන..
එදාට ඔයාට දැනේවි,
අද ඔයාට නැති වුනේ මාව නෙමෙයි
මේ ලෝකේ ඔයාට වැඩියෙන්ම ලැබුණු
ආදරේ බව..
මේ පුංචි හිත ඒ තරම්ම ඔයාගෙ වෙලා
දැනෙන්නෙ නෑ නේද ඔයාට..?
ඔව්,ඔයාට අද දැනෙන්නෙ නෑ,
එත් දවසක ඔයාට දැනෙනවාමයි..
මම ඉන්නම් ඒ වෙනකම්,මම ඉන්නම්..
ඒ දවසට මම සතුටුවේවි මුළු හිතෙන්ම,
සතුටු කදුළු වලින් මගේ දෑස් සේදේවි..
ඒ වෙනකන් මම දුක් නොවී ඉන්නම්,
මම කදුළක් වෙන්නෙ නෑ තවත්
ඔයාටයි පව් පිරෙන්නේ..
මම වෙනස් වෙන්නෙත් නෑ..
හැමදාම දකින සුරගන හීනවලට,
මම ආදරෙයි හැමදාමත්..
ජීවත් වෙන්නම් නු‍ඹේ නමින්ම..
මං වෙනුවෙන් කළ හැමදේටම,
ඔබට පිං..

Monday, February 7, 2011

ප්‍රශ්න - ජීවිතය

6 ප්‍රතිචාර | Read more...

ලියන්න දෙයක් හිතනකොට ඒකත් ප්‍රශ්නයක් නේද කියලා වැටහෙද්දි,උදේ මූණු පොතේ යාළුවෙක් කියු දෙයක් මතක් වුනා.
යාළුව අලුත් ප්‍රශ්නයක් හොයනවලු.ඇහුවාම ඔයාට ප්‍රශ්න නැත්ද ඔයා සතුටින්ද ඉන්නෙ කියලා එයාම කියනවා ප්‍රශ්න නැත්තෙ කාටද කියලා..ඒක ඇත්ත,එහෙනම් එයා සතුටින් ඉන්නෙ..?හ්ම්ම් කතාව එතනින් නැවතුනත් ඊට පස්සෙත් ඒකම හිතුනා.ඒකත් මට නම් ප්‍රශ්නයක්..මොකද මාත් එක්ක බලනකොට මගේ ඒ යාළුව ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් එහෙනම් ඇයි එයා අලුත් ප්‍රශ්නයක් හොය හොයා ඉන්නෙ..?අනේ මටනම් ජීවිතේම ප්‍රශ්නයක්..

අන්තිමට මට දැනුන දේ තමයි මම මේ විදියට අකුරු කරන්නෙ..

ලතත් කම් සැප මහත්
සනසවා සිත් පුබුදුවා..
ගෙනේවිද සොම්නස මහත්
දින දින ගෙවා ඒ සැප මහා..
සොවින් බර නිල් නුවන් යුගලට
අසෙනියක් වී රෑ දිවා..
කදුළු දුක් පැනයන් හගයි
නුඹ දිවි ගෙවන වග
දිනයක් පතා..
නුඹ දිවි ගෙවන වග
සොම්නස පතා..


හිතට ආපු පුංචි දෙයක් අකුරු කලාට ලිවීමට මම එතරම් දක්ෂ කෙනෙක් නම් නෙමෙයි..ඔයාලට පුළුවනි නම් මගේ අදහස තේරුම් ගන්න ඒකයි මගෙ සතුට..
(මේක කියවලා මගේ මූණු පොතේ යාළුව අමනාප වෙයිද දන්නෙ නෑ..හෙහේ එහෙම වෙන එකක් නෑ ඔයා අලුත් අදහසක් දුන්න ජීවිතේට.ස්තුතියි යාළුවේ..!!)

Tuesday, January 4, 2011

වචනයෙන් ආදරෙයි...

9 ප්‍රතිචාර | Read more...
අක්ෂරයට ලියනා දෙවන සහ මේ අවුරුද්දට ලියන මගේ පළමු ලිපිය..සෑම දෙනාටම සුභ අලුත් අව්රුද්දක් පතමින් අරඹනවා..

වෙනස් වෙන ලෝකේ මොනාද වෙනස් නොවී පවතින්නෙ..?ඒ ගැන ප්‍රශ්නයක් ඉතිරි කල කතාවක් කලකට පෙර අසන්න ලැබුනා..එක් පාර්ශවයක් ගැන විතරක් ලියවුනත්.තරුණ,තරුණියන් කා අතරත් මෙහෙම තව කීප දෙනෙක් හෝ ඇති.කියවල හිතලම බලන්නකෝ ඉන්නවද කියලා... 

දර්ශනය:තරුණ යුවලක් දෑතින් දෑත පටලාගෙන ගමන් කරමින් සිටි..


තරුණයා-මගේ වස්තුවට මම කවදාවත් රිදවන්නෙ නෑ මම මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි පැටියෝ..

තරුණිය-ඔයා මට පණටත් වඩා ආදරෙයි..??

තරුණයා-ඔව් රත්තරන් පණටත් වඩා,ඇයි එහෙම ඇහුවේ?නෑ කියලද ඔයා හිතන්නේ?

තරුණිය-හ්ම්ම්..එහෙම නෙමෙයි මහත්තයෝ...කව්රුත් තමන්ගෙ පණට වඩා වෙන කෙනෙක්ට ආදරේ වේවිද?ඒකයි මම කිව්වේ.ඔයා එහෙම කියන්න එපා හිතන්නත් එපා.ඔයාගෙන් මේ ලැබෙන ආදරේ මට ඇති හොදටම..

තරුණයා-හ්ම් වෙන්න ඇති පැටියෝ..ඒත මම මගේ පණටත් වඩා ඔයාට අදරෙයි..ඒක මට ඔප්පු කරන්න උණත් පුළුවනි.හැබැයි මම එහෙම කළොත් අපිට අපි නැති වේවි.මම ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම්..
තරුණිය-අනේ දෙයියනේ එහෙම දෙයක් නම් කියන්නවත් එපා මගෙ සුදු මහත්තයෝ...

(ඈතින් දෙදෙනා ඉදිරියට පුද්ගලයෙක් වේගවත් ගමනින් පැමිනේ,යුවතිය අනේ රත්තරන් තාත්තා එනවා යැයි කියයි.නමුත් හැරී බලන විට පෙම්වතා දක්නට නැත..අවසන ඇයගේ මතකයේ ඇත්තේ කම්මුල හරහා පහරක් වැදෙනවා පමණි.යුවතියගේ කෙස් වල්ලෙන් අල්ලාගත් පියා මාවතෙහි පැමිනි බස් රථයකට අත වැනුවේය..)

Wednesday, December 22, 2010

අක්ෂරයට සෙනෙහසින්...

2 ප්‍රතිචාර | Read more...
රොද බැඳී මිතුරුදම්
එකිනෙකා සෙනෙහසින්
ගලායන ජීවිතය
මම හිතන හැටි සමග
තවත් මිතුරන් එක්ව
ඇරඹි අක්ෂරය වෙත
ලියමි මා මේ ලෙසින්..,

මිතුරුදම් බෝ අගෙයි
කිසි දිනෙක නිම නොවෙයි
පදවැලක වදන් මෙන්
අරුත් දෙයි සුවද දෙයි
එකාමෙන් දිදුලන්න 
සයිබරය ජය ගන්න
පුදන මේ සුභ පැතුම්
ඔබ සැවොම පිළිගන්න..

මේ සුභපැතුම් අක්ෂරයේ මගේ යාළුවෝ හැමෝටම.ඒ වගේම මුලින්ම මම නදී අක්කාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාවත් මේ වටිනා කටයුත්තට එකතු කර ගත්තාට.මටත් වඩා නදී අක්කා ඒකට ගොඩක් මහන්සි වුණා.ඉතින් නදී අක්කා,ළමයා,සුදුහංසි,පොඩි මහත්තයා,මමයි ඔයයි සහ චේතන ඔයාල හැමෝටම ස්තුතියි මාව අක්ෂරයට එකතු කරගත්තට.අක්ෂරයට ජය..හැම දෙනාටම සුභ රැයක්..!!