බුද්ධිමතා යනු.....

Thursday, June 9, 2011


බුද්ධිමතා යනු කවරෙක්ද? මෙහෙම ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔබ මොනවගේ උත්තරයක් දේවිද?. ඔබට අදාලව බුද්ධිමතා නිර්වචනය කරණවාට කිසි සැකයක් නැහැ. බොහෝ විට එහි ප්‍රථිපලයක් වශයෙන් ඔබද බුද්ධිමතුන් ගේ කුලකයට අයත්වනු ඇත. නමුත් ඔබේ නිර්වචනයට අනුව බුද්ධිමතා නිර්වචනය කල හැකිද? ප්‍රශ්නයක් නේද. ඒ ගැන අපි විවෘතව කතිකා කලෙමු. මහාචාර්ය නලින්ද සිල්වා සමග ගත කල ඒ හරවත් සාකච්ඡාව අනුසාරයෙන් මා විසින් මෙම ලිපිය පල කරමි.

සමාජීය අර්ථදැක්වීමට අනුව මහා බුද්ධිමතකු වූ, සහතික පිට සහතික ලද, උපාධියෙන් ඔබ්බට පස්චාත් උපාධිය, ආචාර්ය උපාධියද ලබාගත් පුද්ගලයකු ගැන සිතන්න. මොහුව නවීන තාක්ෂණයේ කිසිදු උපකාරයක් නොමැතිව හිස් අතින් මහා වන මැදක දමා ආවොත් ඔහු කොපමණ කලක් ජීවත්වනු ඇතිද? කැලේම ජීවත් වූ අයකුටනම් එය ඉතාමත් පහසු කාර්යක් වනු නොඅනුමානය. එනම් වන ගතව වෙසෙන්නට අවශ්‍ය දැනුම වනයේ වෙසීමෙන්ම ලබාගත යුතුවේ. නැතිනම් වනයේ වාසය කර දැනුම ලබාගත්තකුගෙන් ලබාගත යුතුය. නමුත් වනචාරී මිනිසකුට ඒ දැනුමට සහතික පිටපත් දෙනුයේ කවරකුද?

අපි කැලේම ජීවත් වන්නකු දෙසට හැරෙමු. ඔහුගෙන් ඇසුවොත් ඔහුට අනුව බුද්ධිමතකු වන්නෙ කවරකුද කියා ඔහුගෙ පිලිතුර වනුයේ, වනයේදී මග සොයාගත හැකි, සතකු මරා ගත හැකි, ආහාරයට සුදුසු ඵල වැල සොයාගත හැකි, තම නැණ පමණින් වන සතුන්ගෙන් බේරී ජීවත් විය හැකි තැනැත්තා බුද්ධිමතකු වන වගයි.

මෙහිදි දෙයාකාරයකට බුද්ධිමතා යන්න නිර්වචණය වී ඇත. මෙවැනි විවිධාකාරයෙන් බුද්ධිමතා යන්න නිර්වචනය විය හැකිය.

වර්ථමාන සමාජය දෙස බැලූ කල බුද්ධිමතකු වන්නෙ උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගෙන, පස්ඡාත් උපාධියක් හා හැකිනම් ආචාර්ය උපාධියද ලබාගත්තකු මහා දැවැන්ත බුද්ධිමතකු වන වගයි. එවිට කිසිදු සහතිකයකට හිමිකම් නොකියන නමුත්, තම ක්ෂේත්‍රෙය් ප්‍රවීනතාව ලත් ගොවියකු, නැතිනම් වැද්දකු බුද්ධිමතකු නොවන්නේද? වර්ථමාන සමාජ සංස්කෘතියට අනුව නම් එය එසේය. බුද්ධිමතකු වීම යනු විභාග කෙසේ හො සමත්ව ලබා ගන්නා කඩදාසියක (එයට සහතිකය යයි පවසයි) තබන ලද නිල මුද්‍රාවකින් සනාත කොට ඇති ප්‍රථිපල පත්‍රයකි. නමුත් එම ප්‍රථිපල පත්‍රය අතට ගන්නා විට උපාධි ධාරියකු හෝ එවැනි බුද්ධිමතකු සතුව ඇති දැනුම කවරක්ද? ඒ නම් පාසලකින් / විශ්ව විද්‍යාලයකින් උගන්නවන ලද කරුණු දැන සිටීම පමණකි. බොහෝවිට එම දැනුමද සහතික පත්‍රෙයන් එහාට ඔහු සතු නොවේ.

මෙහි  ලා උත්සාහා දරනුයෙ විශ්ව විද්‍යාල සිසුවා බුද්ධිමතකු නොවන්නේ යයි පැවසීමට නොවේ. විශ්ව විද්‍යාල උපාධි ධාරින්ද බුද්ධිමත් පිරිසකි. ඔවුන් බුද්ධිමත් වන්නෙ තම තමන්ගෙ හැකියාවන් පිළිබඳවය. වැදගත් කරුණ නම් සහතිකයක් ලද පමණින් ඔලුව උදුම්මවා නොගෙන සමාජය දෙස නෙත් යොමා බැලීමයි. 
බුද්ධිමතකු යනු හරි හමන් නිර්වචනයක් දිය හැකි යමක් නොවේ. බුද්ධිමත් භාවය සහතික පතකට දිය නොහැකිය. නමුත් බද්ධිමතුන් සමාජයේ විවිධ ස්තර වල සිටී. ඒ අනුව බුද්ධිමතා යනු තම තමන්ගේ ක්ෂේත්‍රය තුල මනා ප්‍රවීනත්වයක් ලද අයකු බව මහාචාර්ය්තුමා පෙන්වා දෙයි.

15 ප්‍රතිචාර:

  • Anonymous says:
    June 9, 2011 at 11:29 PM

    හප්පා මේ පොඩි එකා දන්න දේවල් බොල..අප්පුච්චටනේ ආඩම්බර...

  • නචියා says:
    June 10, 2011 at 7:44 AM

    ඇත්ත මචං.... මොන විභාග පාස් කලත් උපාධි ගත්තත් බුද්ධිමත් වෙන්නේ නෑ... කොච්චර ඉන්නවද මේ සමාජයේ උපාධි ගහපු බුද්ධිමත් නැති මිනිස්සු.....

  • නිශා says:
    June 10, 2011 at 8:39 AM

    අවශ්‍ය වන්නෙ උගත් බුද්ධිමත් මිනිස්සු.අර කියන විදියටනම් "ඕල්‍රවුන්ඩර්ස්ල".ඕන දේකට රෙඩි මිනිස්සු.ඒත් ඔය දෙකම එකට පිහිටන අය අඩුයි.පොතේපතේ විතරක් ඇලී ගැලී ඉන්න අය,ඒ පිළිබද දැනුම විතරක් තියන අය නෙමේ.එහෙම අය ප්‍රායෝගික දේවල් කරන්න ගිහාම ගොඩක් ගැටලු වලට මුහුනපානව.නියම පෝස්ට් එක.තවත් ලියන්න.

  • කිඩෝ says:
    June 10, 2011 at 8:48 AM

    බුද්ධිමත්කම කියන්නෙ ඇත්දැකීම් තියනඑක... ඒත් අද තියන අද්‍යාපන ක්‍රමයේ (මම මේ කතාකරන්නෙ 1 වසරෙ ඉදන් 13 වසර වෙනකං ‍මම තාම පොඩි එකානෙ ඉතින් විශ්වවිද්‍යාලවල අද්‍යාපන ක්‍රම ගැන හරියට දන්නෑ) ලමයට ලබාදෙන්නෙ හැමදේකම තියරි පැත්ත විතරයි... වෙන පැත්තක් ගැන හිතන්න ලමයට වෙලාවක් ලැබෙන්නෙත් නෑ... ඉතින් මේ පලවෙනියා වෙන්න දුවන රේස් එකේදි ලමයට සමාජය ගැන අත්දැකීම් ලැබෙන්නෙ බොහොම අඩුවෙන්.... ඔය රෑ දවල් මහන්සිවී දැනුම ඔලුවට වක්කරගන්න උන්ට අර අත්දැකීම් ලබාගන්න තියන පොඩි චාන්ස් එකවත් ලැබෙන්නෑ.... අපේ අධ්‍යාපන ක්‍රමයේ හොදම විහිලුව තමා සාහිත්‍ය... ලමයෙක්ට තමන්ගෙ මතය තමන්ගෙ සංකල්පනා එලියට ගන්න පුලුවන් විශයකට තියෙන්නේ මේ විශය විතරයි ඒත් අපි ඉගනගන්නෙ ගුරුතුමාගේ මතය, විභාගෙට ලියන්න ඕනෙ ඒකලු... ඒහෙනං මොන රෙද්දකටද ඕකට සාහිත්‍ය කියන්නෙ කට පාඩම් කිරීම වගේ නමක් දැම්මනං ඉවරයිනෙ... ඔන්න ඔහොමයි අපේ අධ්‍යාපන ක්‍රමය අත්දැකීම් ලබාගන්න තියන ක්‍රම ඔක්කොම නැති කරලා දාන්නේ....

  • Amila Chathuranga says:
    June 10, 2011 at 8:50 AM

    කොච්චර උපාධි ගැහුවත් ඒ අයගෙ බුද්ධ්මත් කම පෙන්නන්න උපාධි සහතිකේ පෙන්නන්න වෙන එකෙන් කියවෙන්නෙ ඒ අයගෙ බුද්ධ්ය උපාධියෙන් එහාට අඩියක්වත් ගොස් නැති බව නොවේද??

  • Thoppiya says:
    June 10, 2011 at 9:12 AM

    බුද්ධිමත් කමත් සාපෙක්ෂ දෙයක් :)

  • පන්සල් හංදිය says:
    June 10, 2011 at 9:22 AM

    හොඳ පෝස්ට් එකක් ..........

  • Anonymous says:
    June 10, 2011 at 10:13 AM

    මේ ලිපිය ලිවීමේදී උගත්කම යැයි යෙදිය යුතු තැන් වලදීත් බුද්ධිමත්කම යැයි යොදා ඇතැයි මට සිතේ. උගත්කම හා බුද්ධිමත්කම අතර විශාල වෙනසක් පවතී. එය දෙයාකරය. උගත්කම යනු පොතපත ඇසුරින් ලබන දැනුමයි. යමෙක් සා.පෙළ, උ.පෙළ, උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි ආදි වශයෙන් ලබනුයේ උගත්කමකි. එයින් කෙනෙකු බුද්ධිමතෙක්ම යැයි කිව නොහැකි මනාය. බුද්ධිමත් බව එකිනෙකාට සාපේක්ෂය. එය මැනීමට මිනුම් දඩු නොමැත. කෙනෙකුගෙන් කෙනෙකුට අවස්ථානුකූලව හැසිරෙන හා මුහුණදෙන ආකාරය අනුව බුද්ධිමත් බව තීරණය කල යුතුය. කෙනෙකුගේ බුද්ධිමත් බව ඉහල නැන්වීමෙහිලා අත්දැකිම්, පලපුරුද්ද, විතක්ෂණශීලීත්වය යන කරුණුත් බලපාන බව කිව හැකිය.

  • ෆැන්ටසි says:
    June 10, 2011 at 1:15 PM

    බුද්ධිමත්කම යනු අප විසින් කරගනු ලබන සම්මුතියක් පමණි.මේ නිසා එය අර්ථ ගැන්වෙන පරාසය සහ ගැඹුර රටින් රටට ,ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ සමාජය අනුව කාලය මත වෙනස් වනු ඇත.
    එබැවින් බුද්ධිමත් කම යන්න සදහා පොදු පිළිගත හැකි පුළුල් අර්තගන්වීමක් සොයා ගත යුතුය.සමජයේ පවතින ක්‍රමය අනුව ඒ ඒ පුද්ගලයා සුවිශේෂී වන විෂය පරාස ඇත.තමා ප්‍රගුණ කල විෂයක් ඇතිබව එහි ඇති සඛ්‍යතාවය මැනීම පමණක්ම බුද්ධිමත්කමේ මිනුම් දණ්ඩක ලෙස ගැනීම සම්පුර්ණ නොවන බව මගේ හැගීමයි.තම විෂයට ඔබ්බෙහි ඇති අනෙකුත් විෂයන්හි බොහෝ අසු පිරු බව හෙවත් බහුශ්‍රුත භාවය තිබීම බුද්ධිමත් කමට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි.මෙලෙස පිරුණු දැනුම ප්‍රයෝගික භාවිතයේ සක්‍යතාවය තිබීම ඉතා වැදගත්ය.දැනුම හා දත්ත වලින් සන්නද්ධ වුවද බුද්දීමතකු සපුරාගත යුතු ඉතා වැදගත් ගුණාංගයකි.ඒ විනය හා හික්මුණු භාවයයි.මේවාහි පාලනයෙන් තොවර බුද්ධිමතකු බිහිවිය නොහැක.මේ සියලු කරුණු සලකු කල මෙලෙස සැකෙවින් දැක්විය හැක,
    "බුද්ධිමතා යනු නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගත හැකි , මානසික විභවයෙන් සහ එය ක්‍රියාත්මක කල හැකි ශාරීරික සක්‍යතාවයෙන් යුක්ත පුද්ගලයාය "

  • ෆැන්ටසි says:
    June 10, 2011 at 1:47 PM

    පවතින අධ්‍යාපන ක්‍රමය තුල ඇති අඩුපාඩු හමුවේ යම් යම් ගැටළු පවතින බව පිලිගනිමි.නමුත් විශ්ව විද්‍යාල සිසුවා යනු ධනාත්මක විභවයක් සහිත විචක්ෂනශීලී නියැදියක් බව හදුනා ගත යුතුය.අධ්‍යාපනයට ලැබෙන පරිසය හා පෙලබවීම මත තම විෂයට පරිබාහිර විෂයන්හි පරිනත වීමට අවස්ථාව විශ්ව විද්‍යාල සිසුවාට ලැබේ.මේ අනගි අවස්ථාව යොදා ගනිමින් බොහෝ උපධිදරයන් අවසන් ඵලය ලෙස පිරුණු ,හික්මිනු පුද්ගලයන් ලෙස සමාජගත වේ.

  • සංකල්ප says:
    June 10, 2011 at 3:57 PM

    මේ කතාව හරි. මාත් මේ කතාවට එකගයි.

    දවසක් මහාචාර්ය කෙනෙක් ඔරුවකින් ගගහ් තරණය කරනවලු. ඒ ඔරුව පදින තොටියා ඉස්කෝලේ ගියේ නැති කොල්ලෙක් ලු. මේ මහාචාර්යවරයා තොටියගෙන් අහනවලු "කොල්ලෝ උබ ඉස්කෝලේ කී වසරට වෙනකන් ගිහින් තියෙනවද ?" කියලා

    මේ කොල්ලා "මම ඉස්කෝලේ ගිහින් නෑ සර්" කියලා කිව්වලු.

    "එහෙනම් ජීවිතයෙන් භාගයක් ඉවරයි !!!" කියලා මහාචාර්යවරයා කිව්වාලු.

    ඔහොම කතාවෙන් කතාවෙන් ගග මැදට ආවලු. ගග එකපාරටම සැර උනාලු. ඔරුව පෙරලෙන සයිස් ලූ.

    මේ කොල්ලා "සර්ට පීනන්න පුලුවන්ද ??" කියලා ඇහුවලූ.

    "මට පීනන්න බෑ." මහාචාර්ය වරයා කිව්වාලු.

    "එහෙනම් සර්ගේ ජීවිතයම ඉවරයි" කියලා ඒ කොල්ලා ගගට පැනලා පීනලා ගියාලු. ඒකෙන් කියන්නේ අපේ බුද්ධිය කියලා කියන්නේ පොත පතින් විතරක් ලබා ගන්න දැනුම නෙමෙයි. අප ජීවත්වෙන පරිසරයෙනුත් ලබා ගන්න දැනුමට !!!

  • Unknown says:
    June 10, 2011 at 9:24 PM

    @ෆැන්ටසිය
    ෆැන්ටසියේ ගෙනහැර පෑම මා ඉතා අගය කරමි. නමුත් පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඇත්තෙ හුදෙක් නොසලකා හැරි හැකි අඩුපාඩුවක් නම් නොවේ. ඔබ විශ්වවිද්‍යාල සිසුවකුව සිටියේදැයි මා නොදනිමි. නමුත් මා පෞද්ගලිකව විශ්වවිද්‍යාල සිසු භූමිකාවෙ හරය වටහාගෙන ඇත්තෙමි. මා එය අත්දැකීමෙන්ම ලබාගත්තෙමි.

    මා මෙහිදි පවතින අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු ලෙස හුවා දැක්වීමට උත්සාහ කරනුයෙ තවත් අයකුට සාපේක්ෂව අපට ඇති හෝ නැති දේවල් ගැන නොවේ. තවත් අධ්‍යාපන ව්‍යුහයකට සාපේක්ෂව ඇති නැත දේවල් මිනීමෙන් පලක් නැත. නමුත් මෙහි ඇති අඩු පාඩුවනම් මෙහි අවසන් ඵලය ලෙස බිහිවන උපාධිදාරියා ඔබ විසින් නිගමනය කල උපාධිදාරියා නොවීමයි. මන්ද, මෙම අධ්‍යාපන ක්‍රමය තුලින් බිහිවන උපාධිදාරියා හට “ විෂයට පරිබාහිර විෂයන්හි පරිනත වීමට අවස්ථාව“ අවස්ථාවක් ඇත්තේදැයි සැකයක් ඇත්තේ මෙන්ම, විශය පථය තුලද කිසිදු හරවත් චිත්තානුභාවයෙන් නිර්මාණාත්මක යමක් බිහිකලහැකි අයකු නිර්මාණය නොවේ. හුදෙක් මෙහි අවසන් ඵලය වන උපාධිදාරයා ඔහු සතුව සහජ හැකියාවක් නොපැවතියේ නම් පුස්සක්ම වෙයි. නමුත් ඔහු සමාජගත උපාධිදරයෙකි. සමාජය පිලිගත් බුද්ධිමතෙකි.

    එලෙසම ගමේ වෙසෙන තරුණයෙක් තමන්ගේ නැණ පමණින් නව නිර්මාණයක් බිහිකරයි. සමහර විට ඔහුට උසස්පෙළ දක්වා වත් ඉගෙනීමට අවකාශය නොලැබී තිබෙන්නට පුලුවන. මේ සඳහා උදාහරණ කොතෙකුත් අප අසා දැක ඇත්තෙමු. නව නිපැයුම් කරුවන්ගේ සංගමය වැනි ආයතනයකින් විමසුවොත් අපට හමුවන බහුතරයක් මෙවැනි අයයි. නමුත් සමාජයේ පිලිගත් සහතික පතක් ලඟ නැති ඔහු බුද්ධිමතකු ලෙස පිලිගැනීමට සමාජය මැලි වෙයි. ආං එම දුර්වලතාවය හුවා දැක්වීම මගේ මූලික අභිප්‍රාය විය.

    ඔබේ අදහසටත් මෙහි අදහස් දැක්වූ අන් සියලූ දෙනාටත් බොහෝමත්ම ස්තූතියි

  • pavithra weerapperuma says:
    June 11, 2011 at 10:28 AM

    :D :D කියන්න තරම් දෙයක් ඉතුරු වෙලා නෑ. ඇඩ් එකක් නොවන ඇඩ් එකක් දාල යන්නම්..
    kalaya.org

  • සීතල අයියා says:
    June 11, 2011 at 3:32 PM

    මෙන්න මූ මතක ඇති කාලෙකින් අක්ෂරේ post එකක් දාලා.ඇති යාන්තං.කතාවනම් ඇත්ත.

  • Susantha says:
    June 11, 2011 at 8:18 PM

    ඔයා බුද්ධිමත් කියන වචනය යොදා‍ගෙන කතා කරලා තියෙන්නේ උගත්කම ගැන නේද? මේ ඔය වචන දෙක ගැන මට හිතෙන දේ.

    බුද්ධිමත් - මේක මම හිතන්නේ සිතීමේ ශක්තිය කියලා. ඒ කියන්නේ බල්ලෙක් හපන්න දුවගෙන එද්දි කරන්නේ මොනවද කියලා තීරණය කරන්නේ බුද්ධියෙන්. බුද්ධියට තීරණයක් ගන්න උගත්කම හා අත්දැකීම් ප්‍රයෝජනවත් වෙනවා.

    උගත්කම - මේ කියන්නේ පුද්ගලයෙකු සතු දැනුම මට්ටම. අර උදාහරණයේ විදිහට ඒ පුද්ගලයට දැනුමක් තියෙනවා නම් බල්ලන්ට ගස් නගින්න බෑ කියලා. බුද්ධිය විසින් මේ දැනුම පාවිච්චි කරල ගහකට නගින්න තීරණයක් ගන්න පුළුන්.

    අවසානය මෙච්චරයි. උගත්කම රහිත බුද්ධිමත් භාවයෙන් ප්‍රයෝජන ගැනීම අසීරුයි. නමුත් බුද්ධිය නිසා දැනුම උපදියි. බුද්ධිය රහිත උගත්කම ප්‍රයෝජනයක් ඇත්තේම නැත නැතහොත් එය ප්‍රායෝගික නැත.

Post a Comment