අම්මා රත්තරං නම් තාත්තා?

Wednesday, January 5, 2011

"පුතේ.. ඔයා වැඩියෙන්ම ආදරේ අම්මටද අප්පච්චීටද?"

මේ ප්‍රශ්නේ පොඩිකාලෙදී මගෙන් කොයිතරම් දෙනෙක් අහලා ඇතිද? ඒ කොයිම වෙලාවක ඇහුවත් මම දුන්න එකම පිළිතුර වුනේ "දෙන්නටම" කියන එක... හැබැයි ඔයා අම්මට කොච්චරක් ආදරෙයිද ඇහුවොත් මම පුලුවන් තරම් අත්දෙක දෙපසට විහිදුවලා "මෙච්චරක්..." කියද්දී ඇහුවොත් අප්පච්චීට කොච්චර ආදරේද කියලා... හඳවතට එකඟවම කතා කලොත් අම්මට තියෙන ආදරේ පෙන්නන්න තරම් මම අත්දෙක විහිදුවන්නේ නෑ.. 


"ඇයි ඔයා අප්පච්චිට ආදරේ නැද්ද?"
"ආදරෙයි.."
"‍එහෙනම්?"

"ම්ම්ම්....."

ඒ ප්‍රශ්නෙට මට කවමදාවත් උත්තර තිබුණේ නෑ.. ඇත්තටම කියන්න දේවල් තිබුණත් කිව්වේ නෑ. තමන්ගේ අප්පච්චීට ආදරේ නොකරන ළමයෙක් ඉන්නවානම් බොහෝම අඩුයි.. මමත් එහෙම එකෙක්ද කියලා තාමත් හිතෙන වෙලාවන් නැතිවම නෙවෙයි.. ඒවට ගැන දැන්නම් හිතද්දී...



තාත්තා වුණත් මා බත සරි කරන..
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින..


පීතෘමූලික පවුලක ඇත්තම තත්වය මේක නෙවෙයිද? තාත්තා කෙනෙක් කොතෙකුත් මහන්සි වෙන්නේ තමන්ගේ දරුවන්ට යහමින් කන්න අඳින්න දෙන්න පුලුවන් වෙන්න මුදල් උපයන්න. රැකියාවට යන පියා ඇතැම්විට ගෙදර එන්නේ රෑ බෝ වූ පසුව. ඉතින් දරුවන් සමඟ ගත කරන්න ලැබෙන්නේ බොහෝම අඩු කාලයක්. මේ වගේ දරුවන්ගෙන් පියා ඈත් වෙන විට ඔහුට ලැබෙන ආදරය අම්මාට ලැබෙන ආදරයට වඩා අඩුවෙනවා නෙවෙයිද? අම්මගේ උණුහුමේ වැඩිකාලයක් ගත කරන දරුවෙකුගේ හිතේ අම්මා ගැන වැඩි ආදරයක් ඇතිවෙනවයි කියන එක අරුමයක් නෙවෙයි. මේ හේතුව මම මගේ අප්පච්චිගෙන් ඈත්වෙන්නත් හේතුවක් වුනා. මූලිකම හේතුවක් වුනා. අප්පච්චීට මගෙත් එක්ක ගෙවන්න තිබුණ කාලය බොහොම අඩු වුනා. ඒ කාර්යයබහුලබව මම පොඩිකාලේ වගේම අදටත් එහෙම්මමයි. මාසෙකටම දවස් හතරක් හෝ පහක් නිවාඩු ලැබුණාම දවස තිස්සේම පවුලේ අය එක්ක ඉන්න බව හැබෑව.. ඒත් මට නම් ඒ හොඳටම මදී.


තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙණුනා..
ඒ ඇරපු සත්තම් වලය කන් දෙක මගේ පිරුණා..
එදා මට පෙණුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ..
අද මට පෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ.. 

කරන පුංචි වරදකට වුනත් පියෙකු ගොඩක් සැරපරුෂ වෙන වෙලාවන් තියෙනවා. කොයි තරම් දඬුවම් දුන්නත් ඒ වෙලාවට "මට තාත්තාගෙන් මේ දඬුවම ලැබෙන්නේ මොකටද" කියලා හිතෙන අවස්ථාවන් අඩුයි.. දඬුවමක් විඳිනකොට හිතේ ඇතිවෙන තරහත් එක්ක ඉන්නකොට දරුවව ඒ දඬුවමෙන් නිදහස් කරගන්න නිබඳවම ඉදිරිපත් වෙන අම්මා ගැන වැඩි ආදරයක් හිතෙන්නේ නැද්ද? ‍ඒ වුනාට අද ජීවත් වෙනකොට තමයි හිතෙන්නේ ඒ දඬුවම නිසා නේද මට අද මේ වගේ යහපත්ව ඉන්න පුලුවන් වෙන්නේ කියලා. ඒත් ඒ දේ තේරුම් යද්දී සමහර විට අපි පියාගෙන් ඈත්වෙලා ඉවරයි..! තාත්තා කෙනෙක්ගෙන් වරදට දඬුවමක් නොවිඳින කෙනෙක් ඒ වරද දිගටම කලොත්.. ඒ වරදින් සමාජයට කොයි තරම් හානියක් වේවිද? පොඩිකාලේදී මම කරපු ඇතැම් වැරදි අප්පච්චීගේ දඬුවම් නිසා නැවතුනේ නැතිනම් අද මට මේ බ්ලොග් ලියන්න ඉතුරු වෙලාවත් ඉදීවිදැයි විශ්වාසයක් නෑ..

රජෙකුට වගේ බයයි අ‍පි මූණ බලන් නෑ පොඩිකාලේ..
තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවේ නෑ පොඩි කාලේ..

එක පියෙකු ගුරුවරුන් දහසකට සමයි කියන්නේ බොරුවක් නෙවෙයි.. පොඩි කාලෙදී ජීවිතේ වීරයා වෙන්නේ තමන්ගේ පියාව. තාත්තා කරන කියන දේවල් ගැන දරුවෙක් බලාගෙන ඉන්නේ ආසාවෙන්.. වෙලාවකට පුදුමෙනුත්..! ඒ වුනත් කාලයක් යද්දී.. අදහස් වල ගැටීම් ඇති වෙද්දී තාත්තා කියන්නේ හණමිටි අදහස් තියෙන කෙනෙක් වෙනවා. ඔහු තුලින් දරුවෙක් දැකපු වීරයා නිකම්ම නැති වෙලා යනවා. නමුත් ඒ හණමිටි අදහස් වල ගැබ්වෙලා තියෙන "අත්දැකීම්" බව අපිට තේරුම් යනකොට අපි බොහෝම ප්‍රමාදයි..!




අම්මට තියෙන ආදරෙයි අප්පච්චීට තියෙන ආදරෙයි වෙනස්වෙන්න තියෙන පුංචිම පුංචි හේතු කිහිපයක් විතරයි මේ.. ඒ වගේම හැම පියෙකුටම, දරුවෙකුටම මේක අදාල වෙන්නේ නෑ. කොහොම වුනත් බොරු කියන්න ඕනේ නෑ.. අපේ ගෙදරනම් මේ පියපුතු ගැටුම තියෙනවා. හැබැයි ඒ තරහකට නම් නෙවෙයි.. මම හොඳින්ම දන්නවා මේක මගේ අප්පච්චී නම් කියවන්නේ නෑ. හැබැයි ගොඩක් පියවරු කියවයි. පිටට නෙපෙන්න ආදරයක් ලු තියෙන්නේ තාත්තා කෙනෙක් ලඟ. මම නම් හිතන්නේ ඒක තමා තාත්තා කෙනෙක්ට අම්මට තරම් ඇතැම් විට දරුවන්ට ලං වෙන්න බැරි. ඒ ආදරය අම්මට දෙවෙනි නොවන ආදරයක් බව හැබෑව. ඒත් ඒක දරුවෙක්ට දැනෙන්න කල්යනවා. ගොඩක් තාත්තලා දූවරුන්ට වැඩියෙන් ආදරේලු.. ඒ කොහොම වුනොත් මම තාත්තාකෙනෙක් වුනු දවසට දරුවන්ට තියෙන ආදරේ බිංදුවක්වත් අඩු නැතිව දෙනවා. මොකද උන් මගෙන් ඈත් වෙනවට මම කොහොමත්ම කැමති නෑ..

22 ප්‍රතිචාර:

  • චේ උන්නැහේ... says:
    January 5, 2011 at 11:28 PM

    වටිනා ලිපියක් සහෝදරයා.. කියවනකොට මටත් මේ කතාව මේ විදිහටම අදාලයි නේද කියලා හිතුනා. මගේ තත්තත් වැඩි කාලයක් හිටියෙ රට. ඒ නිසා එයාගේ ආදරේ ගොඩක් අඩුවෙන් ලැබුනෙ. කොහොම උනත් තත්තගෙ ආදරේ වටිනාකම දැන් තේරෙනවා. මගේ තත්තා රත්තරන් තාත්තා කෙනෙක් ......................

    මමත් මම තත්තා කෙනෙක් උන දවසට මගෙ ලමයින්ට ආදරේ අඩු නැතුව දෙනවා. මගේන්නම් ඇත්වෙන්න දෙන්නෙ නැ......

  • නදී says:
    January 5, 2011 at 11:46 PM

    අම්මලා වගේ හෑමවෙලේම ලග ඉදන් ආදරේ නොකෙරුවට අප්පච්චිලගෙත් ආදරේ ගොඩක් "බරයි" මල්ලී.ඔයත් දවසක තේරුම් ගනී.

  • sahan ළියනගෙරත්ගමයා says:
    January 5, 2011 at 11:53 PM

    එල කිරිය..පෝස්ට් එක පට්ටාය....මම ලයික්ය...අක්ෂරයේවටිනාම පෝස්ට් එක විය යුතුය...නිහඩ ආදරවන්තයා..අපේ තාත්තා

  • හිස් අහස says:
    January 6, 2011 at 12:51 AM

    ඇත්තටම සෑහෙන වටින ලිපියක් මචං . තාත්තා ගැන වැඩි මතකයක් නැති නිසා මම වැඩිපුරම ආදරේ අම්මට .. ඒ මගේ නොලැබීම

  • Anonymous says:
    January 6, 2011 at 7:14 AM

    eka kiyawanakota matath ape thathawa mathakuna.namuth kudakaladima thatha dalagiya daruwek meka beluwoth ethiwena adahasa mokak weyda?????

  • ෴ හසියා ෴ says:
    January 6, 2011 at 9:48 AM

    සුපිරිම ලිපියක් සහෝ....!!!

    අම්මා කදුළු පෙර පෙරා අපි වෙනුවෙන් අඬනකොට තාත්තා හිතින් අඩනවා....

    මගේ අම්මා වගේම මගේ තාත්තත් බුදු වෙන්න ඕනි..ඒකයි මගේ එකම පැතුම....

    කියන්න වචන නෑ සහෝ....සුපිරිම සුපිරියි...!!!

  • Prabhath says:
    January 6, 2011 at 10:40 AM

    සුපිරි මලේ....
    ඇත්ත කතාව

  • -HacKrisH- says:
    January 6, 2011 at 2:27 PM

    මම මගේ අම්මාටයි තාත්තාටයි පනටත් වඩා ආදරෙයි... හැමොම තෙරුම් ගන්න ඕනදෙයක් තමයි දෙමව්පියන් අපිට අවවාද දෙන්නේ, බනින්නේ, ගහන්නේ අපිත් එක්ක තියෙන තරහකට නෙමෙයි කියන එක. ඒත් අපි නොතේරෙන දවස් වල අපි හිතන්නේ මේ අපිට ආදරේ නැති නිසා මෙහෙම කරනවා කියලා. ඒත් අපිට තේරේන කාලය එනකොට අපිට හිතෙනවා අපේ අම්මයි තාත්තයි අපිට ඒහෙම කරේ අපේම හොදට කියලා. හැබැයි අපිට ඒක තෙරෙනකොට සමහර විට අපි ගොඩක් පරක්කු වෙලා තියෙන්න පුලුවන්. එතකොට අපේ අම්මා තාත්තා අපි ලග නැතිවෙන්න පුලුවන්... උබේ කතාවට මමත් ෆුල් ලයික්ය...

  • ~ChAnDiKa~ says:
    January 6, 2011 at 5:34 PM

    වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද කියල අහන ප්‍රශ්නෙ හරිම අසාදාරණයි. අපි මේ ලෝකෙට බිහිවේන්නෙ ඒ දෙන්නගෙම එකතුවෙන්. අපිට ජීවත් වෙන්න අයිතිය ලැබුණෙ එයාල දෙන්නම නිසා.
    බොහෝ වෙලාවට අම්ම ගෙදර ඉද්දි තාත්ත තමයි හම්බ කරන්න මහන්සිවෙන්නෙ. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද කියනවනම් මගේ තාත්ත මාව මේ තරම් උස් මහත් කරේ අනුන්ගෙ කුලී වැඩ කරල. එයා අදටත් ඒ වෙනුවෙන් විඳින දුක මං දන්නවා. බොහෝමයක් තාත්තල එහෙමයි.
    ඒ නිසා ඕනම දරැවෙක් තමන්ගෙ අම්මට තාත්තට එක වගේම අදරේ කරන්න ඕන කියන එක තමයි මගේ නම් අදහස.

  • මුදිත දසනායක says:
    January 6, 2011 at 6:13 PM

    පිය සෙනෙහස..

    ලෙ නොවූ
    කිරි
    හොරාට
    හැලෙයි
    කඳුලුවී..!!

  • Anonymous says:
    January 6, 2011 at 8:25 PM

    ම්ම්ම්... මම වැඩිපුර ආදරේ නම් මගේ අච්චි අම්මාට අම්මා තාත්තාට වඩා... අරගොල්ලන්ටත් ආදරේ නැ නේමේ...ආදරේයි.... ඒ මාව මේ ලොකේට දුන්න දෙන්නා හන්දා..මම හන්දා හුගාක් කැප උන හන්දා... ඇත්තමයි චතු මම ආසයි මේ පොස්ට් එක...මරු හරිය..

  • චතුවා says:
    January 6, 2011 at 9:29 PM

    චේ උන්නැහේ.. බොහෝම ස්තූතියි අදහසට...

    .....................................................

    නදී අක්කා කියන දේනම් ඇත්ත.. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට...

    .....................................................

    ඉරුට තැන්කූය. අපේ ගෙදරද නිහඬ ආදරවන්තයා අප්පච්චීය..

    .....................................................

    හිස් අහස.. ඒ ආදරේ අහිමි වුන අය තව කොයිතරම් නම් ඉන්නවාද.. ස්තූතියි..

    .....................................................

    ඇනෝ... සමහර විට තාත්තගේ ආදරේ නොලැබෙන කෙනෙක් මම වගේ අයට බණීවි.. තාත්තගේ ආදරේ තිබිලත් විඳින්නේ නෑ කියලා... බොහෝම ස්තූතියි අදහසට..

    .....................................................

    හසියා අයියගේ කතාවනම් ඇත්ත. අපි වෙනුවෙන් පිටින් කඳුලු නොහැලුවාට කොයි තරම් නම් හිතින් කඳුලු හලනවා ඇතිද..

    බොහෝම ස්තූතියි සහෝ..

  • චතුවා says:
    January 6, 2011 at 9:35 PM

    ප්‍රභාත් අයියා.. බොහෝම ස්තූතියි අදහසට...

    .....................................................

    හැකා අයියා.. අපේ හොඳට තමා මේ දේවල් කරන්නේ කියලා තේරෙන්න ගොඩක් අයට කල්යනවා.. මට වගේම..

    බොහෝම ස්තූතියි..

    .....................................................

    චන්දික සහෝගේ අදහසනම් හරියටම හරි.. ඒ දෙන්නටම අපි ආදරේ කරන්න ඕනේ.. බිංදුවක් අඩුනැතිව.. ඒ දෙන්නා නැතිනම් අපි අද මේ ලෝකේ ‍ඉදීවිද?

    බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට

    .....................................................

    මුදිත අයියා.. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට...

    .....................................................

    මගේ නම් ආත්තම්මා ජීවතුන් අතර නෑ දැන්.. නිම්ශා නංගියෝ.. ස්තූතියි හරිය....

  • jhothishalanka says:
    January 7, 2011 at 12:11 AM

    හරිම හොද සටහනක්.තාත්තලා අපිට ආදරේ පෙන්නන්නේ නැහැ අම්මලා වගේ

  • priyan fernando says:
    January 7, 2011 at 3:06 AM

    අතීතය දිහා හැරී බලපුවම මේ ලිපියේ සැම දෙයක්ම ඇත්ත. යහපත් දෙයක් මතක් කලාට බොහොම සන්තෝසයි..

  • Kavindya says:
    January 7, 2011 at 9:05 AM

    ගොඩක් වැදගත් ලිපියක් මල්ලී.... අගේ කරන්න වටිනවා....

  • Anonymous says:
    January 7, 2011 at 3:59 PM

    godak hagimbara lipiyak.

  • චතුවා says:
    January 7, 2011 at 10:47 PM

    JHOTHISHALANKA ඒක ඇත්ත.. සැඟවුණු ආදරයක්! බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට...

    .....................................................

    priyan සහෝ.. බොහෝමත්ම ස්තූතියි ප්‍රතිචාරයට...

    .....................................................

    සුදු අක්කා.. ස්තූතියි ඔයාටත්...

    .....................................................

    ඇනෝ.. ස්තූතියි ප්‍රතිචාරයට... අත්දැකීම් තියෙන අයටනම් හැඟීම්බරවේවේ අනික් අයට කොහොම වුනත්. එහෙම නේද?

  • තාරා says:
    January 7, 2011 at 11:31 PM

    ඇත්තම ලියලා තියෙන පෝස්ට් එකක්...
    මම ගෙදර හිටිය කාලෙට වඩා මාව කැම්පස් හොස්ටල් එකේ නතර කරලා ආපු දවසේ ඉඳන් මට අම්මගෙයි තාත්තාගේයි ආදරේ ඒ වගේම අඩුව තදින්ම දැනෙනවා...

  • චතුවා says:
    January 12, 2011 at 7:50 PM

    එයාලගෙන් ඈත්වෙන්නම ඕනි අගේ තේරෙන්න.. බොහෝම ස්තූතියි අදහසට තාරා..

  • G Welivitigoda says:
    January 15, 2011 at 12:20 PM

    ලස්සන ලිපියක්..
    ඇත්තටම එයාලගෙන් ඈත් වෙන්න ඕන ඒ ආදරේ වටිනාකම අපිට තේරෙන්න.. ඒත් ඒ වටිනාකම තේරෙනකොට එයාල අපෙන් ගොඩක් ඈත වෙන්න පුළුවන්..
    මම මගේ ජීවිතේ වැඩියෙන්ම ඉන්න කැමති මගේ අම්මයි තාත්තයි එක්ක.. :)

  • චතුවා says:
    January 22, 2011 at 11:15 PM

    ඒක ඇත්ත සහෝ.. බොහෝම ස්තූතියි අදහසට..

Post a Comment